Monday, May 6, 2024

General line - 0115112241

ඇප මුදල් ගැන ආන්දෝලනාත්මක ලිපියට හේතුව රාජ්‍ය පරිපාලන ලේකම් හෙළි කරයි




පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම පිළිබඳව තේරීම්භාර නිලධාරීන් වෙත නිකුත් කෙරුණු ආන්දෝලනාත්මක ලිපිය පිළිබඳ කරුණු විමසීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අද මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ලිපිය නිකුත් කළ බවට ලේකම්වරයා එහිදී කරුණු දැක්වූ බවයි.

ඉන් අනතුරුව එය සුදුසු නොවන බවට හැඟී ගිය බැවින් පැයක් වැනි කාලයක් තුළ එම ලිපිය ආපසු කැඳවීමට ක්‍රියාකළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා එහිදී පවසා තිබෙනවා.

මැතිවරණ කොමිශන් සභාවේ ක්‍රියාවලියට මැදිහත්වීමේ කිසිදු අරමුණක් හෝ චේතනාවක් නොතිබූ බවයි ඔහු පවසා ඇත්තේ. හුදෙක් අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම පමණක් සිදුකළ බව ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවේ කරුණු දක්වා තිබෙනවා.

අදාල ලිපිය නිකුත් කිරීමෙන් මැතිවරණ කොමිසමට යම් අපහසුතාවක් සිදුවූයේ නම් ඊට සමාව අයැදිමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරන බවයි.