Sunday, April 28, 2024

General line - 0115112241

හමුදා සෙබලාගේ පපුවේ සිරවූ බෝම්බය ඉවත් කළ ශල්‍යකර්මය




හමුදා සොල්දාදුවෙකුගේ පපුව ප්‍රදේශයේ සිරවී තිබු පුපුරා නොගිය ග්‍රෙනේඩ් වර්ගයේ බෝම්බයක් ශල්‍යකර්මයකින් පසු සාර්ථකව ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත් වූ බව යුක්රේන හමුදාව පවසනවා.

Ukrainian Military Medics නම් වූ ෆේස්බුක් පිටුවේ හුවමාරු වී තිබු ඡායාරූපවල තුවාල ලැබූ සොල්දාදුවාගේ පපු ප්‍රදේශයේ එම බෝම්බ දෘශ්‍යමාන වන X-ray රූපයක් ද පළ කර තිබුණා.

මෙම ශල්‍යකර්මය අතිශයින් අනතුරුදායක එකක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඒ, ශල්‍යකර්මය අතර වාරයේදී ඕනෑම මොහොතක හමුදා සොල්දාදුවාගේ පපුවේ සිරවී තිබු බෝම්බය පුපුරා යා හැකි බවට වෛද්‍යවරු බිය වූ බැවින්ය.

මේ හේතුවෙන් ශල්‍යකර්මය සිදු කිරීමේදී රෝගීයාගේ රුධිරය කැට ගැසීමට යොදා ගන්නා විද්‍යුත් රුධිර කැට ගැසීමකින් තොරව ශල්‍යකර්මය සිදුකිරීමට වෛද්‍යවරුන් පියවර ගනු ලැබූ බව සඳහන්.

මෙම ශල්‍යකර්මය අතර වාරයේදී බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ නිලධාරින් දෙදෙනෙකුද එහි සිට ඇති බවයි වාර්තාවල සඳහන් වන්නේ.

මෙම ශල්‍යකර්මය යුක්රේන සන්නද්ධ හමුදාවේ වඩාත්ම පළපුරුදු ශල්‍ය වෛද්‍යවරයකු මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රි වර්බා විසින් සිදුකර තිබුණා.

සැත්කම ඉතා සාර්ථක වූ බවත් බෝම්බය ඉවත් කිරීමෙන් අනතුරුව රෝගියා මේ වන විට සුවයෙන් පසුවන බව සඳහන්.

රුසියානු හමුදාව විසින් එල්ල කරන ලද ග්‍රෙනේඩ් ලෝන්චර් ප්‍රහාරයක් හමුවේ මෙම යුක්රේන සොල්දාදුවා තුවාල ලැබූ බවයි යුක්රේන හමුදාව සඳහන් කර ඇත්තේ.