Sunday, April 28, 2024

General line - 0115112241

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් තවත් කොවිඩ් තොරතුරු ඉල්ලයි




රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ වැඩිදුර දත්ත සපයන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පවසනවා. ඒ, චීනය දිගු නිහැඬියාවකින් අනතුරුව ඊයේ කොරෝනා මරණ 60,000 ක් වාර්තා කළ පසුබිමක් තුළයි.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අනාවරණ කළ පරිදි ඉකුත් දෙසැම්බර් මස 08 වනදා සිට ජනවාරි 12 වන දා දක්වා කාලය තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයින් 60,000 ක් මියගොස් තිබෙනවා.

ඒ අතරින් බොහෝ පිරිසක් මියගොස් තිබුණේ කොරෝනා වෛරසයේ ආසාදනයත් සමග හට ගත් ශ්වසන අපහසුතා හේතුවෙන්. වාර්තා කළ මරණ සියල්ල රෝහල්වලින් වාර්තා වූ මරණ බවයි චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළේ. නිවෙස්වල සිදුවූ මරණ ද පවතින බැවින් එම කාලය තුළදී කොරෝනා වෛරසය ආසාදිතව චීනයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද ජාතික සෞඛ්‍ය කොමිසම  සඳහන් කළා. 

මේ අතර විදෙස් මාධ්‍ය පැවසුවේ කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින් සම්බන්ධයෙන් චීනය නිකුත් කළ තොරතුරු පිළිගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇති බවයි.

කොරෝනා දත්ත සම්බන්ධයෙන් චීනයේ සහයෝගීතාව සහ විනිවිදභාවයේ වැදගත්කම ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.