Monday, May 6, 2024

General line - 0115112241

හැරී කුමරුගේ පොත ලෝක වාර්තාවන් අතරට




බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ ජීවිත මතක සටහන් සහිත SPARE ග්‍රන්ථය ලොව වැඩිම වේගයෙන් අළෙවි වූ ග්‍රන්ථය ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී ඇත. 

පසුගිය 10 වැනි දින වෙළෙඳපොළට නිකුත් වූ මෙම පොත පළමු දිනය තුළ එක්සත් රාජධානිය, ඇමරිකාව, කැනඩාව යන රටවල පමණක් එහි පිටපත් ලක්‍ෂ 14 කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී තිබිණි.

මෙම ලෝක වාර්තාවට මෙයට පෙර හිමිකම් කියන ලද්දේ ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ලියන ලද ග්‍රන්ථයක් විසිනි.

Spare ග්‍රන්ථය ලොව පුරා භාෂා 15 කින් පමණ ප්‍රකාශයට පත්ව ඇත. එය ප්‍රකාශයට පත් කරන ලද්දේ සුප්‍රකට ප්‍රකාශන ආයතනයක් වන Penguin Random House ය. පළමු දිනය තුළම එහි පිටපත් 887,000කට ආසන්න සංඛ්‍යාවක් අලෙවි වූ බවයි වාර්තා වන්නේ .

ඇෆ්ගනිස්තාන යුද්ධයේ දී තමා තලේබාන් සාමාජිකයන් 25 දෙනෙකු ඝාතනය කළ බවට හැරී කුමරු කර ඇති සඳහනක් මේ වන විට දැඩි අවධානයක් දිනා ඇති කරුණක් වන අතර Spare ග්‍රන්ථයේ අඩංගු ඇතැම් කාරණා මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ.
 
මෙහි සඳහන්  කාරණය සම්බන්ධයෙන්  මාධ්‍ය වැරදි අදහසක් ඇති වන ආකාරයෙන් වාර්තා කිරීම නිසා තමාගේ සහ තම පවුලේ අයගේ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව  ද හැරී කුමරු තවදුරටත්  පවසා සිටියි.

Spare ග්‍රන්ථය ඇමරිකාව තුළ මිල කර ඇත්තේ ඩොලර් 36 කට ය.මාධ්‍ය වාර්තා කරන්නේ එය ලංකා රුපියල් 13,000කට ආසන්න වන බවයි.