Sunday, May 5, 2024

General line - 0115112241

ගුවන් අනතුර නිසා නේපාලය ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි




නේපාලයේ කත්මණ්ඩු නුවර සිට පොකාරා බලා පියාසර කරමින් තිබූ ගුවන් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා. එම වාර්තා පැවසුවේ අනතුර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක අතර නේපාල රජය විසින් ඒ සදහා විශේෂ කමිටුවක්ද පත් කර ඇති බවයි.

මගීන් 68 දෙනෙකු හා කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 72 දෙදෙනෙකු රැගෙන පියාසර කරමින් තිබූ එම යානය කත්මණ්ඩු ගුවන් තොටුපල ආසන්නයේදීම අනතුරට ලක්වුණේ ඊයේ දිනයේදීයි.

මේ වනවිටත් එම ගුවන් යානයේ ගමන් ගත් 68 දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. අතුරුදන්ව සිටින පුද්ගලයින් සිව්දෙනෙකු සොයා සහන සේවකයින් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

සහන සේවකයින් 300 ක් පමණ මුදා ගැනීමේ මෙහෙයුම් සදහා එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔවුන් යානයේ සුන්බුන් අතර දිවිබේරා ගත් පුද්ගලයෙකු හෝ සිටීදැයි සෙවීම මෙන්ම සිරුරු කොටස් සෙවීමේ මෙහෙයුම්වල නිරතව සිටිනවා.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ යානය අනතුරට පත්වන අවස්ථාවේ එය නිවාස මතට කඩා වැටීම වැළැක්වීමට ගුවන් නියමුවා දැඩි පරිශ්‍රමයක් දරා ඇති බවයි. එම ගුවන් අනතුරින් පසුව නේපාල රජය අද එරට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.