Tuesday, April 30, 2024

General line - 0115112241

පකිස්ථානය තුළ කාන්තාවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානය




පකිස්තානය තුළ වෙසෙන සුළු ජාතීන්ට අයත් බාලවයස්කාර ගැහැණු දරුවන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හැරවීම සහ ඔවුන් විවාහ කර ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම හමුවට ඉදිරිපත් වී ඇති වාර්තාවක් අනුව එම කොමිසම ද පකිස්තානය සම්බන්ධයෙන් දැඩි අවදානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වාර්තාව සකසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන විශේෂඥයින් පිරිසක් විසින්.

ඒ අනුව සුළු ජනකොටස් නියෝජනය කරන බාලවයස්කාර දැරියන් බලහත්කාරයෙන් ආගම්වලට හැරවීම සහ ඔවුන් විවාහ කර ගැනීම නැවැත්වීම සදහා කඩිනම් පියවර ගන්නා ලෙස එම වාර්තාව මගින් පකිස්තාන රජයට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වා අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවිය යුතු බව ද එමගින් යෝජනා කර ඇතැයි සදහන්.

ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කරමින් පකිස්තානය තුළ අවුරුදු 13 හා ඒ ආසන්න බාලවයස්කාර දැරියන් සිය පවුල්වලින් පැහැර ගෙන ගොස් ඉස්ලාම් ආගමට හරවා ඔවුන්ගේ වයස මෙන් දෙගුණයකට වැඩි පුද්ගලයින් සමග විවාහ කරවන බවට අදාල වාර්තාවේ දැක්වෙන බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

එවැනි ක්‍රියා සිදුවන්නේ පකිස්ථානයේ ආගමික බලධාරීන්ගේ මෙන්ම ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් බව ද අදාළ වාර්තාව මගින් යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.