Friday, April 26, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමේ බෙදීමක් ඇති බව පැහැදිලි - රජයේ ඇමතිවරයෙකු කියයි




මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එම්.එස්. චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඊයේ ඉල්ලා අස්වුණා. ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇති බවයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ. මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීමට ව්‍යවස්ථාදායක සභාවද තීරණය කර තිබෙනවා. 

පී.එම්.එස්. චාල්ස් මැතිවරණ කොමිසම සඳහා පත් කෙරුණේ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟයි. කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ බෙදීමක් නොමැති බවට එම කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය හමු පවත්වමින් ප්‍රකාශ කළද මෙම ඉල්ලා අස්වීමත් සමඟ කොමිසමේ බෙදීමක් ඇති බව පැහැදිලි වන බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

කෙසේ වෙතත් නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් වෙනස් කිරීමට ආණ්ඩුව බලපෑම් කරන බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුරජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ පැවසුවේ සියලු පක්ෂ මේවනවිට කටයුතු කළ යුත්තේ මැතිවරණ පැවැත්වීමට නොව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බවයි.

පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුරජන පෙරමුණ දැනටමත් සූදානමින් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ද පවසනවා. 

කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එම්.එස්. චාල්ස් එම කොමිසමේ රාජකාරිවලින් මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ දින වකවානු පවා මේවනවිට ප්‍රකාශයට පත්කර ඇති පසුබිමකයි.