Sunday, May 5, 2024

General line - 0115112241

බිත්තර මිල ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමක්




පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු මස නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ගොනුකළ පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මෙම දැනුම් දීම සිදු කළා.

ඒ අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක් ද රතු බිත්තරයක් සඳහා රුපියල් 46 ක් වශයෙන් පාලන මිල නියම කර තිබෙන බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශවය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව අධිකරණයට දන්වා සිටියා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ ඉකුත් අගෝස්තු මාසයේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් නිකුත් කළ බිත්තර පාලන මිල පිළිබඳ ගැසට් නිවේදනය අධිකරණය විසින් අත්හිටුවීම නිසා බිත්තර නිෂ්පාදකයින් බිත්තර මිලියන 20 ක් 25 ක් පමණ අමතරව විකුණා විශාල අයුතු ලාභයක් උපයා  ගත් බවයි.

ඒ අනුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමේදී ආදර්ශ නඩු ගාස්තුවක් නියම කරන ලෙසත්  ඔහු අධිකරණයෙන් ඉල්ලීම් කළා.

අනතුරුව එම ඉල්ලීම පිළිබඳ විභාගය මාර්තු මස 30 වනදා සිදු කිරීමටයි අභියාචනාධිකරණය නියම කළේ.