Sunday, May 5, 2024

General line - 0115112241

භූමිකම්පාවෙන් බැටකන තුර්කියේ රජයට දසතින් චෝදනා




තුර්කියේ සිදුවූ දැවැන්ත භූමිකම්පාවෙන් විපතට පත්වූවන් බේරාගැනීමේදී හා සහන සැලසීමේදී රජය අතින් යම් යම් ගැටලු සිදුවූ බව එරට ජනාධිපති රිසෙප් තායිප් අඩර්ගෝඩ්න් පවසනවා. ඒ, විපක්ෂය ඇතුලු විවේචකයින් එල්ලකරන දැඩි විවේචනවලට ප්‍රතිචාර දක්වමින්. එහෙත් ජනාධිපතිවරයා පවසන්නේ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවයි. 

හදිසි සේවාවල ප්‍රතිචාරය ඉතා මන්දගාමී බවත්, රජයේ සූදානම දුර්වල බවත් විවේචකයින් දිගින දිගටම චෝදනා කරනවා. මෙම ව්‍යවසනයට ජනාධිපතිවරයා වගකිව යුතු බවත් එරට විපක්ෂයේ අදහසයි.

එහෙත් එරට ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙවන් ව්‍යවසනකාරී කාල පරිච්චේදයකදී අවශ්‍ය වන්නේ එක්සත් භාවය බවයි. දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මඩ ගැසීම් නොකළ යුතු බවයි ඔහු පවසන්නේ.

තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 12,000 කට ආසන්නවී තිබෙනවා. සිරියාවටද භූ කම්පනයෙන් බලපෑම් එල්ලවුණා. විපතට පත්වූවන්ට ආධාර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3.1 ක් ලබාදීමටයි යුරෝපා සංගමය මේ වන විට තීරණය කර ඇත්තේ. භූමිකම්පාවෙන් පසු රටවල් දෙකේම සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.