Wednesday, November 13, 2024

General line - 0115112241

ඉන්දීය සම්භවයක් සහිත කතක් අමෙරිකාවේ ඉතිහාසය වෙනස් කිරීමට සැරසෙයි




2024 ජනාධිපතිවරණ සටන ආරම්භ වීමත් සමග අමෙරිකාවේ දේශපාලන කරළිය උණුසුම් වී තිබෙනවා.

එරට ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය මෙවර ජනාධිපතිවරණ සටන ආරම්භ කර ඇත්තේ පක්ෂයේ ඉතිහාසය ද අළුත් කරමින්.

ඒ මෙවර ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයෙන් පළමු වරට ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානු කාන්තාවක් ජනාධිපතිධූරය සඳහා තරග වදිනවා.

ඒ නිකී හේලි.

ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපතිවරියයි.

නිකී හේලි South Carolina ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරිය ද වනවා.

එරට ආණ්ඩුකාර ධූරයකට පත්වූ ලාබාලතම පුද්ගලයා ද හේලි වනවා.

නිකී හේලි ඇයව හඳුන්වන්නේ ඉන්දියාවේ සිට සංක්‍රමණය වූ මව්පියන්ගේ ආඩම්බරකාර දියණියක් ලෙසයි.

1972 වසරේ උපත ලැබූ නිකීගේ සම්පූර්ණ නම   Nimarata Nikki Randhawa.

ඇගේ මව්පියන් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ සික් ආගමික ජන කොට්ඨාශයට අයත්.

නිකී හේලිගේ පියා අජිත් සිං රන්ධාවා වන අතර ඔහු පන්ජාබ් කෘෂිකාර්මික විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක්.

මව රාජ් කෞර් රන්ධාවා දිල්ලි විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරිනියක්.

අජිත් සිං රන්ධාවා තමන්ට හිමිවූ ශිෂ්‍යත්වයක් නිසා කැනඩාවට පැමිණෙන අතර පසුව ඔවුන් අමෙරිකාවට සංක්‍රමණය වී තිබෙනවා.

නිකී රන්ධාවා අමෙරිකානු පුරවැසියෙකු ලෙස උපත ලබන්නේ එහිදීයි.

රිපබ්ලිකන් පක්ෂයේ ඉතිහාසය අළුත් කරමින් ජනාධිපතිවරණ සටනට පිවිසෙන නිකී හේලි ඉන් ජය ලැබුවහොත් අමෙරිකාවේ ඉතිහාසය ද වෙනස් කරනු ඇති.

ඒ මෙතෙක් අමෙරිකාවේ ජනපති පුටුවට කාන්තාවක් පත් වී නොමැති බැවින්.