Saturday, May 4, 2024

General line - 0115112241

ඉතාලියේ අගමැතිත් ඉන්දියාවට




ඉතාලියේ අග්‍රාමාත්‍ය Giorgia Meloni ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

දෙදින නිල සංචාරයක් අරඹමින් ඉතාලි අග්‍රාමාත්‍යවරිය හෙට දිනයේදී ඉන්දියාවට පැමිණීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉතාලි අග්‍රාමාත්‍යවරියගේ මෙම ඉන්දීය සංචාරය සුවිශේෂී අවස්ථාවක් වන අතර වසර 05 කට පමණ පසුව ඉතාලියේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ නිලධාරියෙකු ඉන්දියාවට පැමිණි අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

එමෙන්ම මෙම සංචාරය අතරතුර ඉතාලි අග්‍රාමාත්‍ය Giorgia Meloni සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශවීය, කලාපීය සහ ගෝලීය යන අංශ ඔස්සේ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව් රොව් ද මේවනවිට ඉන්දියාවට පැමිණ සිටිනවා.  

ඒ අදින් ආරම්භ වූ G20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහායි.

ඊට සමගාමීව රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් අතර ද්විපාර්ශවික සාකච්ඡා වටයක් ද පැවැත්වීමට නියමිතයි.

එහිදී යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද අවධානය යොමු වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.