Saturday, May 4, 2024

General line - 0115112241

පුංචි ඡන්දය වෙනුවෙන් මාලිමාව අධිකරණයට




මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ ජාතික ජනබලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ විසින්. නිදහස් හා සාධාරණ ලෙස පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම මගින් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු තිස් පස් දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට අදාළ ගසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව පළාත් පාලන ආයතන 339 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 59 කින් හා ස්වාධීන කණ්ඩායම් 329 කින් නාමයෝජනා භාරදුන් බවයි. 

ඉන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම පෙබරවාරි මස 22, 23 සහ 24 යන දිනවල පැවැත්වීමටත් මැතිවරණ කොමිසම තීරණය කළ බව ද පෙත්සමේ සඳහන්. එසේ තිබියදී ඉකුත් ජනවාරි මස 6 වන දා ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් කැඳවා සාකච්ඡාවක් පවත්වා තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පෙත්සම්කරුවන් පවසනවා. 

ඉන් අනතුරුව ඉකුත් පෙබරවාරි මස 02 වනදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා පමණක් මුදල් වෙන් කරන ලෙසට උපදෙස් ලබාදී තිබු බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

එවැනි තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට නීතිමය  බලයක් නොමැති බවටත් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවටත් පෙත්සම්කරුවන් චෝදනා කරනවා. අනතුරුව රජයේ මුද්‍රණාලාධිපතිනිය විසින් තැපැල් ඡන්ද විමසීමට අවශ්‍ය ඡන්ද පත්‍රිකා නිකුත් නොකිරීම හේතුවෙන් නියමිත පරිදි තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වූ බව ද පෙත්සමේ සඳහන්. 

ඉන් අනතුරුව  ඉකුත් පෙබරවාරි මස 24 වන දා මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කරමින් පාලනය කළ නොහැකි හේතුන් මත කලින් නියම කළ පරිදි මාර්තු මස 09 වන දා පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන බව නිවේදනය කළ බවයි පෙත්සම්කරුවන් පවසන්නේ. 

ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කළ බව එහි සඳහන්ව තිබූ බව ද පෙත්සමේ සඳහන් කර තිබෙනවා. කෙසේවෙතත් අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම යෝග්‍ය බවට මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශ කර තිබුණද ඊට අදාළ පියවර කිසිවක් මේ දක්වා ගෙන නොමැති බව ද පෙත්සමේ සඳහන්. 

මෙම ක්‍රියා තුළින් වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි එම පෙත්සම මගින් ඉල්ලා තිබෙන්නේ. නිදහස් සහ සාධාරණ ලෙස පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.