Saturday, May 4, 2024

General line - 0115112241

දේශබන්දුට එරෙහි අධිකරණ නියෝගයක් වළක්වාලන අභියාචනාධිකරණ තහනම් නියෝගය දීර්ඝ කෙරේ




බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.

අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ කොටුව ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු වු අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට ආසන්න මුදලක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පැමිණිල්ලකට අදාළවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කළා. 

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටියා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින කොටුව මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටී ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කොටුව මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටින ලෙස නීතිපතිවරයා වෙත උපදෙස් ලැබී තිබෙන බවත් අධිකරණ සේවා කොමිසම හරහා මහේස්ත්‍රාත්වරයාගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන 28 වනදා කැඳවීමටයි එහිදී දින නියම කළේ.