Sunday, April 28, 2024

General line - 0115112241

රැකියා දෙන බව පවසා අන්තර්ජාලය ඔස්සේ ජාවාරම් කරන්නැයි කියලා - විදෙස්ගතවූ ලාංකිකයින් පිරිසක් මුදවා ගනියි 

ටී.කේ.ජී.කපිල




ලාඕසයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 24 දෙනෙකු තමන්ට පැවරූ පරිගණක මූල්‍ය වංචා සිදු නොකිරීම නිසා එරට විශේෂිත කළාපයක කොටු වී සිටියදී බේරා ගැනීමෙන් අනතුරුව අද දින ඔවුන් නැවත මෙරටට රැගෙන ඒමට හැකිවූ බව අප නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පවසනවා.

මොවුන් හම්බන්තොට සහ ගාල්ල ඇතුළු දකුණු පළාත නියෝජනය කරන පරිගණක පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබූ තරුණයන් පිරිසක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔවුන් මීට මාස 04 කට පමණ පෙර ලාඕසයේ " බොකියෝ " (Bokio) හි චීනය විසින් පාළනය කරනු ලබන රන් ත්‍රිකෝණයේ විශේෂිත ආර්ථික කළාපයක (Special Economic Zone ) පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සදහා ව්‍යාපාරික වීසා යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී පිටත්ව ගොස් ඇත.

එහිදී මෙම කළාපයට ඇතුළු වත්ම ඔවුන්ගේ  ගුවන් ගමන් බලපත්‍ර, ජංගම දුරකථන සහ අනෙකුත් වටිනා ලියකියවිලි සියල්ල මොවුන් රැගෙන ගිය සමාගම විසින් සිය භාරයට ගෙන ඇත.

ඉන්පසුව මෙම විශේෂිත කළාපය තුළ පිහිටි සමාගමේ කාර්යාලය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිසට ඔවුන්ගේ රැකියාවේ කාර්යයභාරය ලෙස විවිධ ගිණුම් ක්‍රම භාවිතා කරමින් මෙම කළාපය තුළ ව්‍යාජ ලෙස  විවිධ ආයෝජන අවස්ථා පවතින බව පෙන්වා දෙමින් මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ගෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචනික ලබා ගැනීමට කටයුතු කරන ලෙස දන්වා තිබේ .

මෙම කටයුත්ත ප්‍රතික්ෂේප කළ මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිසට මෙම විශේෂිත ආර්ථික කළාපයෙන් පිටවීමට මේ සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකාවට හෝ බාහිර ලෝකය දැනුවත් කිරීමට අවස්ථාවක් ලබා නොදී සිරගත තත්වයකට පත් කිරීමට එම සමාගම පියවර ගෙන ඇත.

එහෙත් පරිගණක පිළිබඳව මනා නිපුණත්වයක් ඇති මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිස තමන් වෙත එල්ලවූ සියලු බාධක මැඩලමින් දැඩි ප්‍රයත්නයක් දරා මේ සියලු සිදුවීම් මාලාව ලොවට හෙළි කිරීමට පියවර ගෙන තිබුණි.

ලාඕස රාජ්‍යයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති නිලධාරීවරයෙකු නොමැති අතර ඒ වෙනුවට ගරු දූත සේවා නිලධාරීවරයෙකු වශයෙන් දමිත් අලුත්ගේ මහතා කටයුතු කරමින් සිටින අතර ඔහු සහ ශ්‍රී ලංකාවේ " මගෙන් රටට " සිවිල් සංවිධානයේ සභාපති සංජය මහවත්ත එක්ව දැඩි ප්‍රයත්නයක් දරා , මෙම තරුණයන් පිරිස එම රන් ත්‍රිකෝණ කළාපයේ සේවය සඳහා ගොස් සිටි සමාගමෙන් බේරා ගෙන අද දිනයේදී යළි ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබුණි.

ඒ අනුව මෙම තරුණයන් පිරිස ලාඕසයේ සිට තායිලන්තයේ බැංකොක් වෙත ගෙනැවිත් එතැන් සිට  අද දින උදෑසන 10.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු බවයි අප වාර්තාකරු පැවසුවේ.