Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාව අසරණ කරන කොවිඩ් නව උප ප්‍රභේදයේ රෝග ලක්ෂණ මෙන්න 




ඉන්දියාවේ මේ වන විට ව්‍යාප්ත වන කොවිඩ් නව උප ප්‍රභේදය හේතුවෙන් එරට දෛනික කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය සීයයට 40 කින් පමණ ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙනවා.

ගතවූ පැය 24ක කාලය තුලදී එරටින් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 7,830ක් බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙන්නේ.

XBB.1.16 යනුවෙන් හඳුන්වනු ලබන මෙම කොවිඩ් උප ප්‍රභේදය සඳහා  'Arcturus' යනුවෙන් නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම කොවිඩ් නව උප ප්‍රභේදයේ ලක්ෂණ සහ මීට පෙර වාර්තා වූ ඔමික්‍රෝන් ප්‍රභේදයට සමාන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

කොවිඩ් නව උප ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ඉන්දියාවේ මහාරාෂ්ඨ ඇතුළු ප්‍රාන්ත 05ක ආසාදිතයින් වැඩිවීමක් පෙන්නුම් කරනු ලබන අතර මාස 06කට පසුව එරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ. 

ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ඉන්දියාව රෝහල් හදිසි තත්ත්වයකට මුහුණ දීමට සුදානම් වන ලෙස උපදෙස් ලබාදී ඇති අතර ඇතැම් ප්‍රාන්ත විසින් ජනතාවට නැවත මුහුණු ආවරණ පැළදීම සඳහා වන නීති ද බලාත්මක කිරීමට පියවර ගෙන ඇත.

XBB.1.16 හෙවත් 'Arcturus' යනුවෙන් නම් කර ඇති කොවිඩ් උප ප්‍රභේදය පළමු වරට පසුගිය පෙබරවාරි මාසයේදී පුනේ ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර ඉන් පසුව මේ වන විට ඉන්දියාව තුල වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරමින් සිටින බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

XBB 1.16 උප ප්‍රභේදය යනු කුමක්ද?

"XBB 1.16 යන කොවිඩ් නව උප ප්‍රභේදය ඉහළ ආසාදන අනුපාතයක් සහිත මෙන්ම වේගවත් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති ප්‍රභේදයක් ලෙසට සලකනු ලබනවා. මෙම උප ප්‍රභේදයේ ඇති විකෘතිතාව හේතුවෙන් පහසුවෙන් එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය මග හැර යාමේ හැකියාව ලබා දෙන" බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.

කොවිඩ් නව උප ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවාද ?

පැය 48කට වැඩි කාලයක් පවතින අධික උණ, කැස්ස, උගුරේ අමාරුව, ඇඟපත වේදනාව, තද හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව සහ උදරයේ අපහසුතා මෙම උප ප්‍රභේදයේ මුලික රෝග ලක්ෂණ ලෙස හඳුනා ගෙන ඇත.

එමෙන්ම මේ දක්වා වාර්තා වූ රෝගීන්ගෙන් ගද සහ සුවද නොදැනීම යන රෝග ලක්ෂණ දක්නට නොලැබෙන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.