Sunday, May 5, 2024

General line - 0115112241

ජපානයටත්, දරාගත නොහැකි බිත්තර ප්‍රශ්නයක්




ශ්‍රී ලංකාවේද ඉකුත් සමයේ දැඩි ප්‍රශ්නයක් බවට පත්ව තිබූ බිත්තර, මේවනවිට ජපානයටද දැඩි ප්‍රශ්නයක් ඇති කර තිබෙනවා. ඒ, ජපානයේ බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම සහ අසාමාන්‍ය බිත්තර හිඟයයි.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ජපානයේ මතුව ඇති කුරුලු උණ බිය හේතුවෙන්. මේ සමඟ කුකුළන් මරා දැමීම හේතුවෙන් බිත්තර අඩු වී එහි මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ජපාන දත්තවලට අනුව කුකුළන් ලක්ෂ 170ක් මරා දමනු ඇති බවටයි වාර්තා වන්නේ. ඒ අතර සියයට 9ක් බිත්තර දමන කිකිළියන්. 

ඒ අනුව, අද වනවිට බිත්තර යනු ජපානයේ සුඛෝපභෝගී ආහාරයක්. ජපානයේ බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ සියයට 70කින්. ජපානයේ බිත්තර කිලෝවක මිල මේවනවිට ශ්‍රී ලංකා මුදලින් රුපියල් 900කට ආසන්න වී තිබෙනවා.

මේ සමඟම බිත්තර යෙදූ ආහාර මිල ගණන්ද වාර්ාගත ලෙස ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන තත්ත්වයක්. බිත්තර යොදා සකසන ආහාර වර්ග 15ක අලෙවියද මේවනවිටත් ජපානය තුළ සිදු වන්නේ නැහැ. ජපානයේ ප්‍රධාන අවන්හල් 100ක ආහාර ලැයිස්තුවෙන් සියයට 28ක ආහාර වර්ග ඉවත් කර ඇත්තේද බිත්තර හිඟය හේතුවෙන්. 

වරින් වර හිස ඔසවන කුරුළු උණ මේවනවිට ජපානයට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්. මෙවර එහි විකෘති වෛරසයක් ව්‍යාප්ත වනවාදැයි විද්‍යාඥයින් සැක පළ කරනවා.