ශ්‍රී ලංකාවාසී ජනතාව උදාවූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද මහත් හරසරින් සහ උත්සවශ්‍රීයෙන් පිළිගනු ලැබුවා. ශ්‍රාවක ජනතාව සමග එක්ව අලුත් අවුරුදු චාරිත්‍ර නිවැරදි වේලාවටම ඉටු කිරීමට නෙත් එෆ් එම් රේඩියෝව ද සුපුරුදු පරිදි මෙරවත් කටයුතු කළා. නෙත් එෆ් එම් රේඩියෝව මෙවර නැකත් චාරිත්‍ර ගෙන එනු ලැබුවේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිටයි.
සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සමරනු ලබන සිංහල හා දෙමළ අළුත් අවුරුදු උදාව මෙවර යෙදී තිබුණේ පස්වරු 02 යි 59 ටයි.
අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව ආහාර පිසීමේ නැකත අද පස්වරු 03 යි 29 ට යෙදී තිබුණා. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා, දී කිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම සුදුසු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වුණේ.
මෙවර සිංහල හා දෙමළ අළුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීමේ නැකත යෙදී තිබුණේ අපරභාග 05 යි 05 ටයි. විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන් වුණා.
මෙවර අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 16 වන ඉරිදා පූර්වභාග 09 යි 41 ට යෙදී තිබෙනවා. අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 17 වනදා සඳුදා පූර්වභාග 06 යි 28 ටයි.