Monday, May 6, 2024

General line - 0115112241

පොහොට්ටුවේ සභාපතිධූරය හිමි නමකට - ජී එල් අධිකරණයට




ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද පැවති මහ සභා රැස්වීමේදීයි.

එය පැවැත්වුණේ පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පක්ෂ නායකවරයා ලෙස තවදුරටත් කටයුතු කරනු ලබන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

මහ සභා රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව පක්ෂයේ නව පත් කිරීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා. 

මහ සභා රැස්වීමට සහභාගී වන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස්ටද ලිඛිතව දැනුම් දී තිබුණද ඔහු අද දිනයේ ඊට සහභාගී වී සිටියේ නැහැ. ඒ සම්බන්ධයෙන් සහ පක්ෂයේ සභාපති ධූරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මාධ්‍ය හමුවේ දැක්වුයේ මෙවන් අදහසක්. 

කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය     ජී එල් පීරිස් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද පැවැත්වූ මහ සභාව කිසිසේත් නීත්‍යානුකූල නොවන බවයි.

ඒ අනුව, එම රැස්වීමේදී ගන්නා ලද සියලු තීරණ ශූන්‍ය හා ක්‍රියා විරහිත වන බවත් ඒවාට කිසිදු වලංගුභාවයක් අයත් නොවන බවද ඔහු පවසනවා. එම තිරණ නීතිවිරෝධි බව ප්‍රකාශ කිරීම සඳහා සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.