Saturday, May 4, 2024

General line - 0115112241

පශු පාලනයේදී සතුන්ට අසීමිතව ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් මෙරට ජනතාව අවධානමක




මෙරට පශු පාලනයේ දී සතුන්ට අසීමිතව ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ පාලනය නොකළහොත් ඉදිරියේදී මෙරට ජනතාවට ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝදතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි පශු ඖෂධ නියාමණ අධිකාරිය අනතුරු අඟවනවා.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පවතින පශු ඖෂධ නියාමන අධිකාරිය හා එම පනත බලාත්මක කිරීම පිළිබඳ ඊයේ පැවති සාකච්ඡාවකදී මෙ අදහස් පළ කෙරුණා.

ගවයන්, කුකුළන් හා ඌරන් ඇතුළු සතුන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

බොහෝවිට මිනිසුන්ට ලබා දෙන්නේ ද එම ප්‍රතිජීවක ඖෂධයි. මෙම සතුන්ගේ කිරි හා මස් අනුභව කිරීම මගින් ඔවුන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ නිතැතින්ම මිනිස් සිරුරට ඇතුල්වීමට ඉඩකඩ පවතින බවයි විශේෂඥයින් පවසන්නේ.

මේ හේතුවෙන් ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධතාව හෙවත් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අහිමි වී මිනිසුන් විවිධ රෝගවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ ඉහළ යා හැකි බවයි පශු ඖෂධ නියාමණ අධිකාරිය එම සාකච්ඡාවේදී පෙන්වා දී ඇත්තේ. 

මෙම කරුණ සම්බන්ධව ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් සකස් කර තමන්ට ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර පශු ඖෂධ පාලන අධිකාරියට එහිදී දැනුම් දුන් බව කෘෂි කර්ම අමාත්‍යංශය සඳහන් කළා. 

දැනට වෙළෙඳ පොළේ තිබෙන සත්ව සනීපාරක්ෂක ද්‍රව්‍යවල ප්‍රමිතිය සොයා බැලීම සඳහා වැඩ පිළිවෙළක් සැකසීමටත්, ඇතැම් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ මට්ටමක පවතින නිසා එම මිල ගණන් සාධාරණ ද යන්න සොයා බලන ලෙසත් අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට එහිදී උපදෙස් ලබා දි තිබෙනවා.

මෙරට සතුන් සඳහා භාවිතා කරන ඖෂධ හා සනීපාරක්ෂක ද්‍රව්‍යවලින් සියයට 05ක් මෙරට නිපදවන අතර ඉතිරි සියයට 95  විදේශ රටවලින් ආනයනය කරනු ලබනවා.

2022 වර්ෂයේ දී සතුන්ට ලබා දෙන ඖෂධ හා වෙනත් සනීපාරක්ෂක ද්‍රව්‍ය ආනයනය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 4,039ක් බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එම සාකච්ඡාවේදී අනාවරණ කර ඇත්තේ. 

ඇතැම් පශු ඖෂධ හා සනීපාරක්ෂක ද්‍රව්‍ය රට තුළ ම නිපදවා ගත හැකි පහසුකම් තිබියදීත් ඒවා ආනයනය කිරීම මගින් විශාල මුදලක් විදේශවලට ඇදී යාම වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.