Sunday, May 5, 2024

General line - 0115112241

පුටින්ට පහර දුන්නාද ? යුක්‍රේනය උත්තර දෙයි




රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් තම රටට නොමැති බව යුක්‍රේනය අවධාරණය කර තිබෙනවා.

යුක්‍රේන ජනාදිපති ව්ලොඩිමියර් ස්ලෙනෙස්කි මේ බව පවසා ඇත්තේ රුසියානු ජනාධිපතිවරයා ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින්.

යුක්‍රේනය කිසි විටක ව්ලැද්මීර් පුටින්ට හෝ රුසියාවට පහර නොදෙන බවත්, යුක්‍රේනය සැමවිට සටන් කරන්නේ තම භූමිය මත සිට බවත් යුක්‍රේන ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ යුක්‍රේනය සටන්වදින්නේ තම ගම්බිම් සහ නගර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවයි.

රුසියාවේ ප්‍රධානතම රාජ්‍ය ගොඩනැගිල්ල වන ක්‍රෙම්ලිනය ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවූ බව එරට ආරක්ෂක අංශ පැවසුවා.

රුසියානු ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ එරට ආරක්ෂක අංශ විසින් ප්‍රහාර සඳහා පැමිණි ඩ්‍රෝන යානා දෙකක් බිම හෙලූ බවයි. එය ව්ලැද්මීර් පුටින්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල කළ අවස්ථාවක් ලෙසයි රුසියාව හඳුන්වාදී ඇත්තේ. 

මේ අතර අමෙරිකාව පවසා ඇත්තේ ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ලවූ බවට රුසියාව කරන ප්‍රකාශය සම්බන්ධයෙන් යුක්‍රේනය ඉතා ප්‍රවේශම් විය යුතු බවයි.