Thursday, April 25, 2024

General line - 0115112241

චීනය එකට එක කරයි - කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු නෙරපා හැරේ




චීනය විසින් ෂැංහයි නුවර කැනේඩියානු කොන්සාල් නිලධාරියෙකු නෙරපා හැර තිබෙනවා. ඒ, කැනඩාව සමග උද්ගතවී ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයට එකට එක කිරීමක් ලෙසයි.

මේ මස 13 වනදා වනවිට රටින් පිටවන ලෙස චීනය අදාළ කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම තත්ත්වය උද්ගත වුණේ කැනඩාව එරට සිටින චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු නෙරපා හැරීමත් සමගයි.

චීනයේ ප්‍රතිවිරුද්ධ මතධාරියෙකු වන කැනඩාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු හා හොංකොං හි සිටින ඔහුගේ පවුලේ සාමාජිකයින් බියගැන්වීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ වී ඇති බවටයි චීනයේ රාජ්‍ය තාන්ත්‍රිකයාට කැනඩාව චෝදනා එල්ල කළේ.

රටේ අභ්‍යන්තර කටයුතු සඳහා සිදුකරන විදේශීය මැදිහත්වීම් කිසිසේත් නොඉවසන බව කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී සඳහන් කළා.

කෙසේවෙතත් චීනය පැවසුවේ කැනඩාවේ තීරණයට දැඩිව ප්‍රතිචාර දක්වන බවයි. කැනඩාවේ ක්‍රියාකලාපය තරයේ හෙළාදකින බව හා ඊට සිය විරෝධය පළ කරන බව ද චීනය අවධාරණය කර තිබුණා.