Friday, January 3, 2025

General line - 0115112241

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභා කෙරේ

උදය කුමාර




මෑතකදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළ යටතේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 09 දක්වා අඩු කිරීමට ගෙන තිබූ තීරණය තුළින් එහි සාමාජිකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය අද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළා.

මෙම කරුණට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් මීට පෙරද නිෂ්ප්‍රභ කර ඇති බැවින් මෙම පෙත්සම් පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව කීපයක් මතුකළ මූලික විරෝධත පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා. 

ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක සංගමය ඇතුළු පාර්ශ්ව කීපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.