Sunday, April 28, 2024

General line - 0115112241

විමල්ගේ අල්ලස් නඩුවක මූලික විරෝධතා සදහා දින දෙයි




හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කර තිබෙන මූලික විරෝධතා වලට අදාල වාචික දේශන ජුනි මස 16 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ ද අධිකරණයේ පෙනී සිටියා.

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ අවදියේ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් හා දේපල අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබෙනවා.

එහිදී පැමිණිලිකාර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුට අදාළ අධිචෝදනා පත්‍රය 2017 වසරේදී ගොනු කරනු ලැබූවද ඊට අදාළ නඩු විභාගය මේ දක්වා ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන බව පෙන්වා දුන්නා.

මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මූලික විරෝධතාවලට අදාල ලිඛිත දේශන ද ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරිය මෙම කාල ප්‍රමාදය සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් තීන්දුවක් කඩිනමින් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙම නඩුව විත්තිකරුගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම සඳහා ගොනු කරන ලද්දක් බවයි.

මෙම නඩුවට  සමාන වෙනත් නඩුවකට අදාළව අභියාචනයක් ඉහල අධිකරණයේ ගොනුකර තිබෙන බවත් එහි තීන්දුව ලැබෙන එක් මෙම නඩුවේ විභාගය කල් තැබීම සුදුසු බවත් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ එහිදී කියාසිටියා.  

කෙසේ වෙතත් මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කළ යුතු බවට අධිකරණය විශ්වාස කරන්නේ නම් නඩු විභාගය සඳහා දින නියම කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

එහෙත් මෙම නඩුවට සමාන වෙනත් නඩුවක අභියාචනයක් ඉහල අධිකරණයේ ගොනුකර තිබෙන බව විත්තිය විසින් ප්‍රකාශ කළද එම තත්ත්වය මෙම නඩුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට බාධාවක් නොවන බව විනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නා.

ඒ අනුව විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා වලට අදාල වාචික දේශන ජුනි මස 16 වනදා ඉදිරිපත් කරන ලෙසයි විනිසුරුවරයා නියම කළේ.