Friday, April 26, 2024

General line - 0115112241

වසර 04 කට පසු බොදු බැති සිත් පුබුදුවාලන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද සිට




පොසොන් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද සිට ආරම්භ වනවා.

ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් පුරාදින 18ක් මෙම අසිරිමත් මහා පිංකම පැවැත්වෙන බවයි කූරගල රජමහා විහාරාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් පැවසුවේ.


අද සිට ලබන 04 වනදා රාත්‍රිය දක්වා මහරගම ජාතික තරුණසේවා සභාවේදී ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ඔබට හැකියාව පවතිනවා.

ජුනි මස 05 වනදා දහවල් සිට ජුනි මස 08 වනදා පෙරවරුව දක්වා ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව උදාවෙන්නේ පැල්මඬුල්ල, රිල්හේන ශ්‍රී අභයවර්ධනාරාමයේදීයි.

දෙණියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ තැන්පත් කෙරෙන ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සැලසෙන්නේ ජුනි මස 08 වනදා පස්වරුවේ සිට ජුනි 11 වනදා පෙරවරුව දක්වායි.

ජුනි 11 වනදා පස්වරුවේ ධාතූන් වහන්සේ යටිහෙලගල රාජමහා විහාරස්ථානයට වැඩම කරනු ලබනවා.

එදින සිට ජුනි මස 15 වනදා දක්වා එම විහාරස්ථානයේදී ධාතූන් වහන්සේ ඔබට වන්ඳනා කිරීමට අවස්ථාව හිමිවන අතර බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේදී ද ඔබට ධාතූන් වහන්සේ වන්ඳනා කිරීමට නෙත් එෆ් එම් රේඩියෝව අවස්ථාව සලසාදී ඇත්තේ ජුනි මස 15 වනදා පස්වරුවේ සිට ජුනි මස 19 වනදා පෙරවරු කාලය දක්වායි.