Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දීය අගමැතිගේ සංචාරයක් ගැන චීනය සහ රුසියාව විමසිල්ලෙන්




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු රාජ්‍ය සංචාරය හෙටින් ආරම්භ වනවා.

ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.

අග්‍රාමාත්‍ය මෝදි ලබන 24 වනදා දක්වා අමෙරිකාවේ රැඳී සිටිනු ඇති.

ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදු කෙරෙනවා.

ඊට සමගාමීව හෙටට යෙදී ඇති ජාත්‍යන්තර යෝගා දිනය ඔහුගේ ප්‍රධානත්වයෙන් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වෙනු ඇති.

අනතුරුව ලබන 22 වනදා අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සූදානම් කර ඇති අතර ඊට සමගාමීව ද්විපාර්ශවික සාකච්ඡා ද පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන 22 වනදා අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ඇමතීමට නියමිත අතර එය ඓතිහාසික අවස්ථාවක් වනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයන් සඳහන් කළා.  

කෙසේවෙතත් ජෝ බයිඩ්න්ගේ ආරාධනයෙන් සිදු කෙරෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම අමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් චීනය සහ රුසියාව දැඩි විමසිල්ලෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.