Saturday, May 4, 2024

General line - 0115112241

ටයිටැනික් බැලීමට ගොස් අතුරුදන් වූ සබ්මැරීනයෙන් නිකුත් වූ ශබ්දයක් පිළිබඳ පුළුල් මෙහෙයුම්




අත්ලන්තික් සාගර පතුලේ පවතින ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට පිරිසක් රැගෙන යමින් තිබියදී අතුරුදන් වූ සබ්මැරීනයකට සමාන කුඩා යාත්‍රාව සොයා ආරම්භ කළ මෙහෙයුම් තවදුරටත් පුළුල් කර තිබෙනවා.

ඒ, අදාළ මෙහෙයුම් අතරතුර සාගර පතුලෙන් ඇසුණු ශබ්දයක් හේතුවෙන්.

විදෙස් මාධ්‍ය පවසන්නේ සෝදිසි මෙහෙයුම් සඳහා එක්ව සිටින කැනඩාවට අයත් පී.ත්‍රී වර්ගයේ ගුවන් යානයක් මගින් ගැඹුරු සාගරයෙන් නිකුත් වූ එම ශබ්දය හඳුනා ගෙන ඇති බවයි. එය යකඩයක් වැනි යමකට පහරදීමේදී නිකුත් වන හඬකට සමාන බවයි අමෙරිකානු හා කැනේඩියානු සහන මෙහෙයුම් කණ්ඩායම් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අතුරුදන් වූ සබ්මැරීනය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක මුහුදු සීමාවෙන් එම ශබ්දය හඳුනා ගෙන ඇති බව ද සඳහන්.

අත්ලන්තික් සාගර පතුලේ ඉතිරිව ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ඕෂන් ගේට් නම් පෞද්ගලික සමාගමක් විසින් සංවිධාන කරන චාරිකාවක් සඳහා සබ්මැරීනයකට සමාන කුඩා යාත්‍රාවකින් පුද්ගලයින් 05 දෙනෙකු මෙම මුහුදු ගමනට එක්ව තිබුණේ ඉකුත් ඉරිදා දිනයේදීයි.

එහිදී සබ්මැරීනය සමග අතුරුදන් වූ එම පුද්ගලයින් 05 දෙනා අතර ගමන සංවිධාන කරන සමාගමේ ප්‍රධානියා ද සිටින බවයි විදෙස් මාධ්‍ය තහවුරු කර ඇත්තේ.

ඔවුන්ට තවදුරටත් සබ්මැරීනය තුළ රැඳි සිටීම සඳහා ඔක්සිජන් පවතින්නේ පැය 30 කටත් අඩු කාලයක් සඳහා බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.