Monday, May 6, 2024

General line - 0115112241

පුටින්ට එරෙහි වූ වැග්නර් හමුදාවට රුසියානු සහ යුක්රේන වැසියන්ගෙන් ඉහළ ප්‍රතිචාර




රුසියාවට සහ ජනාධිපති ව්ලැද්මීර් පුටින්ට එරෙහිව කැරැල්ලක් දියත් කළ එරට කුලී හමුදා කණ්ඩායම වන වැග්නර් හමුදාවට රුසියානු ජනතාවගෙන් සහ යුක්රේන වැසියන්ගෙන් පැසසුම් හිමිව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියාවේ සහ යුක්රේනයේ බොහෝ පිරිසක් වැග්නර් හමුදාවට පක්ෂපාතීව සිය අදහස් ප්‍රකාශ කර ඇති බවයි.

එහිදී ඔවුන් වැග්නර් හමුදාව විසින් මොස්කව් ආක්‍රමණය කිරීමට ගත් තීරණය සාධාරණිකරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ මැදිහත්වීම මත මොස්කව් නුවර ආක්‍රමණය අතහැරි වැග්නර් හමුදාව රොස්ටොව් නගරයෙන් පිටව ගියේද එම නගර වැසියන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේයි.  

වැග්නර් හමුදාව නගරයෙන් පිටවන තුරු නගර වැසියන් මාර්ග දෙපසට රැස්ව ප්‍රීති ඝෝෂා නගමින් ඔවුන්ට සුබ පැතුම් එක් කළා. 

මේ අතර විදෙස් මාධ්‍ය පවසන්නේ යුක්රේනයේ කිව් අගනුවර වැසියන්ට පුටින්ට එරෙහි කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිය සතුට පළ කර ඇති බවයි.

එම කුමන්ත්‍රණය හරහා රුසියානු හමුදාව යුක්රේන යුධ බිමේදී දුර්වල වනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කරනවා.

කිව් අගනුවර වැසියන් පවසන්නේ මෙවැනි යමක් සිදුවෙතැයි අපේක්ෂා කළත් එය ඉක්මනින් සිදු වෙතැයි කිසිසේත් අපේක්ෂා නොකළ බවයි.

කලින්ම ආරම්භ වූ පුටින්ට එරෙහි කැරැල්ල ඉතා හොඳ බවයි යුක්රේනයේ කිව් අගනුවර වැසියන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ. 

මේ අතර මොස්කව් අතහැර පසුබැස ගිය වැග්නර් හමුදාව යුක්රේනයේ සිය කඳවුරු වෙත යළි ස්ථානගතව ඇති බවයි ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ.

එහෙත් වැග්නර් හමුදාවේ ප්‍රධානියා වන යෙව්ගනි ප්‍රිගොෂින් බෙලරූස් රාජ්‍යය වෙත ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

කෙසේ වෙතත් රුසියාවේ මොස්කව් අගනුවර ආරක්ෂාව තව දුරටත් තර කර ඇති බවයි වාර්තා වන්නේ. හෙට දිනය මොස්කව් වැසියන්ට රාජකාරී නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්ව තිබේ.