Monday, May 6, 2024

General line - 0115112241

රුසියාව ගැන චීනය දුක් වෙයි




රුසියානු පාලන තත්ත්‍රය පිළිබඳ චීනය කනස්සලෙන් පසුවන බවක් පෙන්නුම් කෙරෙන බව ජාත්‍යන්තර විශ්ලේෂකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා.

ඔවුන් පවසන්නේ රුසියාන ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ ඔහුගේ රජයේ අනාගත ස්ථාවරත්වය සම්බන්ධයෙන් චින පරිපාලනය තුළ බියක් වර්ධනය වෙමින් පවතින බවයි. ඊට හේතු වී ඇත්තේ වැග්නර් කුලී හමුදා කණ්ඩායම ඉකුත් දා රුසියානු ජනාධිපතිවරයාට සහ එරට රජයට විරුද්ධව ක්‍රියාත්මක කළ කැරැල්ල බවද විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේ වෙතත් වැග්නර් හමුදාවේ අසාර්ථක කැරැල්ලෙන් පසුව වුවද චිනය සහ රුසියාව තවදුරටත් ශක්තිමත් මිතුරන් සේ සිටින බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

වැග්නර් කුලී හමුදා කණ්ඩායම ඉකුත් සෙනසුරාදා රුසියාවට එරෙහිව කැරැල්ල දියත් කළ අවස්ථාවේදී ලොව අනෙකුත් බොහෝ රටවල් මෙන්ම චිනයද නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් රුසියාවේ තත්ත්වය දෙස බලා සිටි බව ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසනවා.

අනතුරුව බෙලරූස් රාජ්‍ය මැදිහත් වී වැග්නර් හමුදාව ආපසු හැරවීමෙන් අනතුරුව චීනය ප්‍රකාශ්‍යක් නිකුත් කළා. ඒ, රුසියාවට සහය දක්වන බව පවසමින්. 

මේ අතර වැග්නර් කැරැල්ලෙන් පසුව රුසියානු හමුදාවේ ඉහළ තනතුරු දරන නිලධාරීන් කිහිප දෙනෙකු රජයේ රැස්විම් සහ ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී වන රාජ්‍ය උත්සවවලට සහභාගී නොවන තත්ත්වයක් දක්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා. 

ඔවුන්ගෙන් ඇතැමෙක් යුක්‍රේන යුද්ධයේදී රුසියානු හමුදාව මෙහෙයවීම සඳහා මෙන්ම යුධ උපක්‍රම සැලසුම් කිරීම සඳහාද ප්‍රබල දායකත්වයක් දැක්වූ නිලධාරීන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, වැග්නර් කුලී හමුදාව ක්‍රියාත්මක කළ කැරැල්ල පිළිබඳව දැන සිටි බවට රුසියාවේ ඉහළ හමුදා නිලධාරියෙකුට චෝදනාවක් එල්ල වී ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.