Sunday, September 8, 2024

General line - 0115112241

තවත් අලි ඇතුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව තායිලන්ත තානාපති කියයි.




තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කර ඇති තායි රාජා සහ කණ්ඩුල යන හස්ථීන් දෙදෙනා නැවත ලබාගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හර්න්පෝල් පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ මහනුවර ශ්‍රී දළඳා මාළිඟාවේ ඇත් පන්තියට අයත් තායි රාජා හස්ථියාගේ සුවදුක් සොයා බැලීම සඳහා අද මහනුවරට පැමිණි අවස්ථාවේදීයි. තායිලන්තය, තායි රාජා හස්ථියා මෙරටට පරිත්‍යාග කර ඇත්තේ මීට වසර 37 කට පෙරයි. මේ වන විට තායි රාජා හස්ථියා මදකිපීම හේතුවෙන් මහනුවර සුදුහුම්පොළ රජමහා විහාරස්ථ භූමියේ රඳවා සිටිනවා. එහි පැමිණි තායිලන්ත තානාපතිවරයා හස්ථියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කළ අතර එම හස්ථියා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව තහවුරුවූ බවයි ඔහු එහිදී පවසා ඇත්තේ. හස්ථියාගේ සුවදුක් විමසා බැලීමට පෙර ශ්‍රී දළඳා මාලිඟාවට ගොස් දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදාගත් තානාපතිවරයා අනතුරුව දියවඩන නිළමේ නිලන්ග දෑල ද හමුවී සාකච්ඡා කර තිබෙනවා. එහිදී තායිලන්ත තානාපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් රැකබලා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම තායිලන්තයෙන් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම මෙරටින් තායිලන්තයට රැගෙන ගිය මුතු රාජා හස්ථියා සම්බන්ධයෙන් ද තායිලන්ත තානාපතිවරයා එහිදී අදහස් පළ කර තිබුණා. ඔහු සඳහන් කර ඇත්තේ මුතු රාජා හස්ථියා මේ වන විට සුවයෙන් පසුවන බවයි. 
එමෙන්ම එම හස්ථියා තායිලන්තය වෙත රැගෙන යාම ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත‘න රාජතාන්ත්‍රික සබඳතා සඳහා කිසිදු ආකාරයකින් බලපෑමක් එල්ල නොකරන බවද ඔහු එහිදී අවධාරණය කර තිබෙනවා.