Sunday, May 5, 2024

General line - 0115112241

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බන්ධනාගාරයට.




අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බන්ධනාගාර ගතවීමට සිදුව තිබෙනවා. ඒ, විනාඩි 20 ක කාලයක් සඳහායි. 

ජෝර්ජියා මැතිවරණය කඩාකප්පල් කිරීම ඇතුලු චෝදනා 13 ක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණා. ඉන් අනතුරුවයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට විනාඩි 20ක් පමණ කාලයක් බන්ධනාගාරයේ රැඳීසිටීමට සිදුව ඇත්තේ. 

පසුව අමෙරිකානු හිටපු ජනාධිපතිවරයා අමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක ඇප බැදුම්කරයක් මත මුදාහැර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු බන්ධනාගාරයකට භාරවූ පළමු අවස්ථාව මෙය බවයි. ඔහුට මෙලෙස බක්ධනාගාරයට පැමිණෙන ලෙස දැනුම්දී තිබුණේ ඔහුගේ ජීව දත්ත සහ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වීමෙන් පසු ලබාගන්නා ඡායාරූප ලබාගැනීම සඳහායි.

ඩොනල්ඩ් ට්‍රම්ප් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් ඒ අසලට රැස්ව සිටියා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට අමතරව අදාළ චෝදනාව එල්ලවූ තවත් පිරිසකට ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගරයේ නඩු පවරා තිබෙනවා. 

කෙසේවෙතත් ඇප මත මුදාහැරීමෙන් පසුව ඉන් පිටතට පැමිණ ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තරඟ කිරීමට අපේක්ෂා කරන බැවින් පළිගැනීමක් ලෙස මෙය හඳුන්වන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී පැවසුවේ.