Sunday, May 5, 2024

General line - 0115112241

ලොවක් සෙවූ වැග්නර් නායකයාගේ මරණයේ පළමු සාක්ෂිය ඇඟිල්ලකින් හමුවෙයි (VIDEO)




රුසියාවේ කුලී හමුදාව වන වැග්නර් හමුදාවේ නායකයා වූ යෙව්ගනි ප්‍රිගොෂින් මිය ගොස් ඇති බවට පළමු වරට සාක්ෂියක් හමුවී තිබෙනවා. 

ඒ, ඔහු මිය ගොස් ඇති බවට ප්‍රකාශ කෙරුණත් එය තහවුරු කරන කිසිඳු සාක්ෂියක් හමුනොවීම සම්බන්ධයෙන් ලොව පුරා දැඩි කථාබහක් මතුව තිබූ පසුබිමකයි.

රුසියාවේ මොස්කව් නුවරදී කඩා වැටුනු පෞද්ගලික ගුවන් යානයක සිටි පුද්ගලයින් 10 දෙනෙකු මිය ගිය අතර එලෙස මියගොස් තිබුණේ වැග්නර් කුලී හමුදාවේ සාමාජිකයින් පිරිසක්. ගුවන් යානයේ ගමන් ගත් පිරිසගේ නම් ලැයිස්තුවේ ප්‍රිගොෂින්ගේ නම ද ඇතුලත්ව තිබූ අතර ඒ අනුවයි මෙතෙක් ප්‍රිගොෂින් මියගොස් ඇති බව ප්‍රකාශ කෙරුණේ.

කෙසේවෙතත් මේවනවිට වාර්තා වන්නේ ගිනිගෙන විනාශ වූ අදාළ ගුවන් යානයේ තිබී හමුවූ පිලිස්සුනු මළ සිරුරු අතර තිබී ප්‍රිගොෂින්ගේ සිරුර ද හමුවී ඇති බවයි. 

එය ප්‍රිගොෂින්ගේ සිරුර බවට හඳුනා ගෙන ඇත්තේ ඔහුගේ අතේ ඇඟිල්ලකින් බවයි වාර්තා වන්නේ. 

මීට පෙර පැවැති ගැටුමකදී ප්‍රිගොෂින්ගේ වම් අතේ ඇගිල්ලකට අර්ධ වශයෙන් හානි සිදුව තිබුණා.

එම ඇගිල්ලෙන් යෙව්ගනි ප්‍රිගොෂින්ගේ මළ සිරුර හඳුනාගෙන ඇති බවත්, එලෙස මළ සිරුර හඳුනා ගෙන ඇත්තේ ජ්‍යෙෂ්ඨ වැග්නර් අණදෙන නිලධාරියෙකු බවත් වාර්තා වනවා.

ප්‍රිගොෂින්ගේ සමීපතම නිලධාරියෙකු ලෙස සැලකෙන වැග්නර් හමුදාවේ දෙවන අණදෙන නිලධාරී දිමිත්‍රි උට්කින්ගේ සිරුර ද මේවනවිට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ, ඔහුගේ සිරුරේ ඇති පච්ච සලකුණු වලින්.

විදෙස් මාධ්‍ය අද අලුයම අනාවරණ කළේ අදාළ ගුවන් යානා අනතුර වූ ස්ථානයේ තිබී පුද්ගල මළ සිරුරු 10ක් සොයාගත් බවයි. 

කෙසේවෙතත් ඒ අතර වැග්නර් හමුදාවේ නායකයා වූ යෙව්ගනි ප්‍රිගොෂින්ගේ මළසිරුර තිබුණා දැයි රුසියානු බලධාරීන් මෙතෙක් තහවුරු කර නැහැ.