Sunday, May 5, 2024

General line - 0115112241

හාදුවක් නිසා ලෝක ශූර ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන් පාපන්දුව අත්හරී




මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනාගත් ස්පාඤ්ඤ කණ්ඩායම යළි පාපන්දු ක්‍රීඩා නොකරන බවට තීරණයකට එළඹ තිබෙනවා. 

මෙම සිද්ධියට හේතුවී ඇත්තේ ස්පාඤ්ඤ කණ්ඩායම පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමෙන් පසු පැවති උත්සවයේදි එරට පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රිබියොස් ලෝක ශූර කණ්ඩායමේ ක්‍රීඩිකාවකගේ දෙතොල් සිප ගැනීමේ සිද්ධියයි. 

ඉකුත් දින කිහිපයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවූ අතර එය තවත් උණුසුම්වීමට හේතුවී ඇත්තේ අදාළ සිද්ධිය පාදක කර ගෙන තමා ධුරයෙන් ඉල්ලා අස් නොවන බවට පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ප්‍රකාශ කිරීමත් සමගයි. 

මෙම සිද්ධියට මුහුණ පෑ පාපන්දු ක්‍රීඩිකා ජෙනී එමෝසෝ පවසන්නේ තමා සිප ගැනීමට එකඟ නොවූ බවයි. 

එබැවින් ඔහු තනතුරෙන් ඉවත් කරන තුරු යළි පාපන්දු ක්‍රීඩා නොකරන බව ස්පාඤ්ඤ ජාතික කණ්ඩායම ප්‍රකාශ කර තිබෙනවා. 

ඊට අදාළ ලිපියකට ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 23 දෙනාම අත්සන් තබා ඇතැයි සදහන්. 

මෙම තීරණය සමග තවත් ස්පාඤ්ඤ ක්‍රීිඩිකාවන් 81 දෙනෙකු එක්ව සිටීමද විශේෂත්වයක්. 

ඉකුත්දා පැවති කාන්තා පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදි එංගලන්තය පරාජය කරමින් ස්පාඤ්ඤය ජය වාර්තා කළා. 

අනතුරුව එරට පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රිබියොස් ජයග්‍රාහී ක්‍රීඩිකාවන් වැළද ගනිමින් සුබ පැතූ අතර ජෙනී එමෝසෝගේ දෙතොල් සිප ගත්තා. 

සිද්ධිය සම්බන්ධයෙන් ස්පාඤ්ඤ රජය සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයද පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

කෙසේවෙතත් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රිබියොස් පවසන්නේ ජයග්‍රහණයත් සමග ඇති වූ ප්‍රීතිය හේතුවෙන් තමා මෙලෙස සිප ගත් බවයි. 

එවැනි සිද්ධියක් තමා ධුරයෙන් ඉවත් කිරීමට තරම් ප්‍රමාණවත් දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කරනවා.

එබැවින් තමා කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස් නොවන බවයි ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රිබියොස් අවධාරණය කර ඇත්තේ.

ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය සැප්තැම්බර් 22 වනදා ස්වීඩනයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.