Saturday, July 27, 2024

General line - 0115112241

තායිවානය වට කරගෙන චීනය කරන්නට හදන්නේ කුමක්ද?




තායිවානයේ උප ජනාධිපති විලියම් ලායි විසින් මෑතකදී එක්සත් ජනපදයට කරන ලද සංචාරයකින් පසුව, දිවයිනේ බෙදුම්වාදී බලවේගවලට "දැඩි අනතුරු ඇඟවීමක්" යැවීම අරමුණු කරගනිමින් චීනය තායිවානය වටා ගුවන් සහ මුහුදු යුද අභ්‍යාස දියත් කර ඇත. 

තායිවානය සෙනසුරාදා ඊට ප්‍රතිචාර දක්වමින් කියාසිටියේ මෙම අභ්‍යාස මගින් චීනයේ “මිලිටරිවාදී මානසිකත්වය” ඉස්මතු කරන බවයි. 

සිය සටන් ගුවන් යානා, නාවික නෞකා සහ ගොඩබිම් මිසයිල පද්ධතිවලට චීන හමුදා නිරීක්ෂණය කිරීම පවර ඇති බැවින් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වන්නේ නම්, ඊටද සුදානම් බව තායිවානය ප්‍රකාශ කර තිබිණි. 

තායිවානය අවට ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු සිදුකරන චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර විධානය සෙනසුරාදා කෙටි ප්‍රකාශයක් කරමින් කියාසිටියේ, එය තායිවානය වටා ඒකාබද්ධ නාවික සහ ගුවන් සටන් සූදානම වෙනුවෙන් මුර සංචාර සිදුකරන බවයි. 

නැගෙනහිර විධානය පවසා ඇත්තේ, ගුවන් සහ මුහුදු අවකාශයේ පාලනය අල්ලා ගැනීම සහ සටන් හැකියාවන් පරීක්ෂා කිරීම සඳහා නැව්-ගුවන් යානා සම්බන්ධීකරණය පිළිබඳ අභ්‍යාස අවධානය යොමුකළ බවයි. 

චීනයේ රජයේ Xinhua පුවත් සේවය වෙත නැගෙනහිර විධානයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ, 'තායිවානයේ ස්වාධීන' බෙදුම්වාදීන්ගේ විදේශීය සම්බන්ධතා සම්බන්ධයෙන් තමන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවයි.

තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය මෙම අභ්‍යාස කඩිනමින් හෙළා දුටු අතර, එයට ප්‍රතිචාර දැක්වීමට සුදුසු හමුදා යොදවා ඇති බවත්, ජාතික ආරක්ෂාව සහතික කිරීමට හැකියාව, අධිෂ්ඨානය සහ විශ්වාසය සිය රටට ඇති බවත් අවධාරණය කර ඇත.

 "මෙවර මිලිටරි අභ්‍යාසය දියත් කිරීම තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වයට බලපෑම් එල්ල කරනවා පමණක් නොව චීනයේ මිලිටරිවාදී මානසිකත්වය ඉස්මතු කරයි" යනුවෙන් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 

මෙම අභ්‍යාස සඳහා චීන ගුවන් යානා 42ක් සහ නෞකා 8ක් සම්බන්ධ වූ බවත්, ගුවන් යානා 26ක් තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස වෙන් කරන මධ්‍ය රේඛාව හරහා ගොස් ඇති බවත්, එය මීට පෙර දෙපාර්ශවය අතර නිල නොවන මායිමක් ලෙස පැවති බවත් අමාත්‍යාංශය පසුව වාර්තා කළේය. 

එසේම තායිවාන සටන් ගුවන් යානා, ගොඩබිම් මිසයිල පද්ධති සහ නාවික යාත්‍රා අභ්‍යාස නිරීක්ෂණය සඳහා යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.

ඇත්තෙන්ම චීනය මෙලෙස නැවත වරක් තායිවානයට තර්ජනය කරමින් සිටින්නේ ඇයි ? 

වාර්තා සඳහන් කරන ආකාරයට තායිවානය එක්සත් ජනපදය සමග මෑත කාලීනව පවත්වන සමීප සබඳතා මෙම එදිරිවාදීකමට බලපා ඇත. 

චීනය සිය සමුද්‍ර බල ව්‍යාප්තියේ මෑත කාලීන ජයග්‍රහණයක් ලෙස සලකන ලද්දේ තායිවානය අවට සාගර කලාපයේ බලහත්කාරී පාලනයයි. 

තායිවානය චීනයේ බලයට තවමත් නැතුව පවතින බව ලොවට ප්‍රදර්ශනය කිරීම ඔස්සේ, චීනය මෙලෙස මෙම සාගර කලාපයේ බලය තහවුරු කරගැනීමට කටයුතු කරමින් සිටී. 

එහෙත් චීනයේ මිලිටරි ඒකාධිපතිත්වය නොයිවසන තායිවානය සිය සමීප පාර්ශ්වකරුවකු ලෙස එක්සත් ජනපදය සමග අඛණ්ඩව ගනුදෙනු කරනු ලබයි. 

චීනය සිය වැඩෙන ප්‍රතිරෝධය තායිවානය මතින් යවමින් සිටිනුයේ මෙම ඇමෙරිකානු ගනුදෙනුවට එරෙහිවය.

 කෙසේවෙතත් චීනය තායිවානයට සිදුකෙරෙන මෙම අනවශ්‍ය බලපෑම අද වන විට දෙපාර්ශවය අතර පමණක් නොව ලෝක බලවතා වන ඇමෙරිකාවද ඊට සම්බන්ධ කරගන්නා තරමටම ගැටලුකාරී වී ඇත. 

මේ නිසාම එක්සත් ජනපදය තායිවාන පාර්ශ්වය සිය නවීන අවිවලින් සන්නද්ධ කිරීමට කටයුතු කරමින් සිටින බව දැකගත හැකිය.

තායිවානයේ මීළඟ ජනාධිපතිවරයා බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන එරට උප ජනාධිපති ලායි, පසුගිය සතියේ සිකුරාදා එක්සත් ජනපදයේ සිට ආපසු පැමිණි අතර, ඔහු පැරගුවේ වෙත නිල රාජ්‍ය සංචාරයක් සඳහා යන අතරමගදී එක්සත් ජනපදයට ගොස් තිබිණි. 

තායිවාන නිලධාරීන් සහ විශ්ලේෂකයින් පවසා ඇත්තේ ලබන වසරේ ජනාධිපතිවරණයට පෙර තායිවාන ඡන්දදායකයින් බිය ගැන්වීමට සහ ඔවුන් “යුද්ධයට බිය” ඇති කිරීමට කඩතුරාවක් ලෙස එක්සත් ජනපදය හරහා ලායිගේ සංක්‍රමණය යොදා ගනිමින් චීනය මේ සතියේ දිවයින ආසන්නයේ හමුදා අභ්‍යාස පැවැත්වීමට කටයුතු කර ඇති බවයි. 

චීනයේ විදේශ අමාත්‍යාංශය ලායි එක්සත් ජනපදයට පැමිණීමට සමගාමීව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “තායිවාන ස්වාධීන බෙදුම්වාදීන්ගේ” එක්සත් ජනපදයේ සංචාරයට තමන් විරුද්ධ බවයි. 

"ලායි තායිවානයේ ස්වාධීනත්වයේ බෙදුම්වාදී ආස්ථානයට මුරණ්ඩු ලෙස අනුගත වන අතර, එය හරහා කරදර ඇති කරන්නෙකු" යැයි චීනය පවසයි.

චීන හමුදා අභ්‍යාසවලට ප්‍රතිචාර දක්වමින් තායිවානයේ විදේශ අමාත්‍ය ජෝසප් වු සෙනසුරාදා කියා සිටියේ තායිවානයේ පුරවැසියන්ට ඔවුන්ගේ ඉදිරි මැතිවරණ පිළිබඳව තීරණය කළ යුතු බවත්, තායිවාන ජන මතය තීරණය කරනු ලබන්නේ “අසල්වැසි චණ්ඩියා නොවේ” යනුවෙනි. 

චීනය තායිවානය තමන්ගේම භූමියක් ලෙස ප්‍රකාශ කරන අතර, ප්‍රජාතන්ත්‍රවාදී, ස්වයං-පාලිත දිවයිනේ පාලනය ගැනීමට බලය යෙදවීම චීනය විසින් ප්‍රතික්ෂේප කර නැත. 

චීනය තායිවානය දකින්නේ තම රටෙන් බිඳී ගිය 'පළාතක්' ලෙස වන අතර, එය නැවතත් තමරටෙහි පාලනයට යටතට වනු ඇති බව චීනයේ විශ්වාසයයි.

කෙසේ වෙතත්, ස්වයං පාලනයක් සහිත දිවයින, තමන්ව සලකන්නේ, තමන්ගේම ව්‍යවස්ථාවකින් සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයින් සිටින, චීනයේ ප්‍රධාන භූමියෙන් වෙනස් වූ ස්වාධින භූමියක් ලෙසටයි. 

චීනයේ ජනාධිපති ෂී ජිංපිං තායිවානය සමඟ 'යළි එක්වීමට' කටයුතු කළ යුතු බවට ප්‍රකාශ කර ඇති අතර තමන් ඒ සඳහා හමුදා බලය යෙදවීමේ ඉඩක් ඇති බව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර නොමැත.

තායිවානය යනු, ගිනිකොනදිග චීන වෙරළේ සිට සැතපුම් 100 ක් පමණ දුරින් පිහිටි දූපතකි. 

එය එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියට තීරණාත්මකව බලපාන, එක්සත් ජනපද මිත්‍ර ප්‍රදේශ ලැයිස්තුවේ පළමු දූපත් දාමයේ පිහිටා ඇත.

 චීනය විසින් තායිවානය අත්පත් කර ගත්තේ නම්, බටහිර පැසිෆික් කලාපයේ බලය පැතිරවීමට ඉඩ ලැබෙන අතර, ගුවාම් සහ හවායි තරම් දුරින් පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරුවලට ද එය තර්ජනයක් විය හැකි බව ඇතැම් බටහිර විශේෂඥයෝ පවසති. 

එහෙත් චීනය දැඩිව කියා සිටින්නේ තම අභිප්‍රායන් සම්පූර්ණයෙන් ම සාමකාමී බවයි.

කෙසේවෙතත් සෙනසුරාදා දියත් කරන ලද චීන අභ්‍යාස ඉක්බිතිව, එක්සත් ජනපදය, ජපානය සහ දකුනු කොරියාව ඒකාබද්ධව චීනයට එරෙහිව සිය සමගිය නැවත වතාවක් ප්‍රකශයට පත්කර ඇත. 

එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, චීනය දකුණු චීන මුහුදේ සිදුකරන "භයානක හා ආක්රමණශීලී" හැසිරීම හෙලාදකින බවයි. 

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට, ඉන්දු-පැසිෆික් කටයුතු ශක්තිමත් කිරීමට සහ පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට ඔවුන් අධිෂ්ඨානශීලීව සිටින බවත් නායකයෝ තිදෙනා අවධාරණය කර ඇත. 

පසුගිය වසරේ අගෝස්තුවේදී, එවක එක්සත් ජනපද සභානායක නැන්සි පෙලෝසිගේ තායිපේ සංචාරයට ප්‍රතිචාර වශයෙන් චීනය තායිවානය වටා දින කිහිපයක මහා පරිමාණ යුද අභ්‍යාස දියත් කළේය. 

පෙලෝසිගේ සංචාරයට එරෙහිව, චීනයේ J-20 ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානා සහ සාම්ප්‍රදායික මිසයිල අත්හදා බැලීම් ඇතුළත්ව, චීන හමුදාවන විසින් පෙර නොවූ විරූ දින හයක අභ්‍යාසයක් දියත් කෙරිණි.