පැහැර ගත් බවට වාර්තා පල වූ මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පිරිවෙනෙහි වැඩ විසූ මෙහෙණින් වහන්සේ තුන් නම නුවරඑළිය ප්‍රදේශයේ සිටියදී සොයා ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ එම මෙහෙණින් වහන්සේලා තුන් නම නුවරඑළිය පොලිස් ස්ථානය වෙත ඊයේ භාරවී ඇති බවයි.
මෙහෙණින් වහන්සේලා පිරිස තවත් කාන්තාවක් සමග නුවරඑළිය ප්‍රදේශයට ගොස් ඇත්තේ කැමැත්තෙන් බවත්, එලෙස එම මෙහෙණින් වහන්සේලා නුවරඑළිය ප්‍රදේශයට රැගෙන ගිය කාන්තාව ද පොලීසිය වෙත භාර වී ඇති බවත් නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවා.
අදාළ කාන්තාව පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව ඇයව අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.
මෙහෙණින් වහන්සේලා තිදෙනා ද නුවරඑළිය පොලිස් ස්ථානය මගින් මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පිරිවෙනෙහි නායක මෙහෙණින් වහන්සේගෙන් සිදුවන හිරහැර හා පීඩා හේතුවෙන් එම පිරිවෙනෙන් පිටව ගිය බවයි එම මෙහෙණින් වහන්සේ තුන් නම පොලීසියට පවසා ඇත්තේ.
කෙසේවෙතත් එම මෙහෙණින් වහන්සේලා පැහැර ගෙන ගොස් ඇති බවට එක් මෙහෙණින් වහන්සේ නමකගේ මව්පියන් පොලීසියට පැමිණිලි කර තිබුණා.
ඒ අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරුණේ. මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටි අවුරුදු 11, 15, සහ 18 වයස්වල පසුවන මෙහෙණින් වහන්සේ තුන් නමක් මෙම සිද්ධියට මුහුණ පා තිබෙනවා.
මෙහෙණින් වහන්සේලා තිදෙනා එම පිරිවෙනෙන් රැගෙන ගොස් තිබුණේ ඉකුත් 23 වනදා රාත්‍රි කාලයේදීයි.