Sunday, May 5, 2024

General line - 0115112241

නායකයෙකු නොමැති වැග්නර් හමුදාව ගැන රුසියාවෙන් තීරණයක් ගනී




රුසියාවට පක්ෂපාතී බවට දිවුරුම් දෙන ලෙස ජනාධිපති ව්ලැදිමීර් පුටින් වැග්නර් සහ අනෙකුත් රුසියානු පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන්ගේ ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. 

යුක්රේනයේ හමුදා මෙහෙයුම්වලට සහභාගී වී සිටින රුසියානු හමුදාවට සහය වන සහ රුසියානු භූමියේ ආරක්ෂක ඒකකවල සේවයේ නියුතු ඕනෑම අයෙකුට මෙම නියෝගය අදාළ වන බවයි රුසියාව පවසා ඇත්තේ. 

එම නියෝගය සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්සන් කර තිබෙනවා. රුසියානු ජනාධිපතිවරයා මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ රුසියානු කුලී හමුදාව වන වැග්නර් කණ්ඩායමේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් මොස්කව් අගනුවර සිදුවූ ගුවන් යානා අනතුරක් හමුවේ මියගොස් ඇති බවට වාර්තා පළ වෙමින් ඇති පසුබිමක් තුළයි. 

කෙසේවෙතත් රුසියානු ජනාධිපතිවරයාගේ මෙම නියෝගය සම්බන්ධයෙන් වැග්නර් හමුදාවේ එක් කණ්ඩායමක් මේවනවිටත් සිය විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ. 

අනාගතයේදී තවත් අර්බුධයකට මුහුණදීමට පෙර වැග්නර් කණ්ඩායම දැඩි ලෙස පාලනය කිරීමට රුසියාවට අවශ්‍ය වී ඇතැයි විචාරකයින් පවසනවා. 

මීට පෙර ද කොන්ත්‍රාත්තුවක් සඳහා අත්සන් කරන ලෙස රුසියානු ආරක්ෂක අමාත්‍යංශය වැග්නර් හමුදාවට පවසා තිබුණා. 

ඒ සඳහා එම කණ්ඩායමේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් විරෝධය පළ කර ඇති අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයට පක්ෂපාතී ලෙසයි.
 

ඒ හමුවේ වැග්නර් නායකයා රුසියානු ජනාධිපතිවරයාට එරෙහිව කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. 

වැග්නර් හමුදාව විසින් රුසියාවට සහ ජනාධිපති පුටින්ට එරෙහිව කැරැල්ලක් දියත් කිරීමට හේතුව ද එය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.