ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසය අලුත් කරමින් කාන්තා ක්රිකට් කණ්ඩායම ඓතිහාසික ජයග්රහණයක් වාර්තා කළා.
ඒ, එංගලන්තයට එරෙහිව, එංගලන්තයේදීම පන්දුවාර 20 තරඟාවලියක් ජය ගනිමින්.
එය ඉතිහාසගත වුණේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමක් එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ලැබූ පන්දුවාර 20 පලමු තරඟාවලි ජයග්රහණය ලෙසටයි.
එංගලන්තයට එරෙහිව ක්රිකට් ක්රීඩාවේ ඕනෑම තරඟ රටාවකදී ලැබූ පළමු හා එකම ජයග්රහණය ද මෙය වනවා.
එමෙන්ම ආසියාවෙන් පිටතදී ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිල ලැබූ පලමු තරඟාවලි ජයග්රහණය ද මෙයයි.
එමෙන්ම එංගලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම පන්දුවාර 20 තරඟාවලියකදී ආසියානු කණ්ඩායමක් හමුවේ තරඟාවලියකින් පරාජය වූ පලමු අවස්ථාව ද මෙය වනවා.
මීට අමතරව එංගලන්තය කාන්තා ක්රිකට් කණ්ඩායමක් පන්දුවාර 20 තරඟාවලි පරාජයක් ලබන්නේ 2010 වසරෙන් පසු පලමු වරට වීමද විශේෂත්වයක්.
මීට පෙර එම ජයග්රහණය වාර්තා කර තිබුණේ ද ලෝක ශූර ප්රබල ඕස්ටේ්රලියා කාන්තා කණ්ඩායම පමණයි.
දෙරට අතර පැවති පළමු පන්දුවාර 20 තරගය එංගලන්තය ජය ගත් අතර දෙවන තරඟයෙන් ශ්රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමිවුණා.
එය ශ්රී ලංකා කාන්තා කණ්ඩායමක් එංගලන්තය පරාජය කළ පළමු අවස්ථාව ද වනවා. ඊයේ රාත්රියේ පැවති තුත්වන පන්දුවාර 20 තරගයෙන් ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම විශිෂ්ඨ ජයක් වාර්තා කලේ කඩුලු 07කින්.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 116කට දවා ගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවන් සමත් වුණා.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නායිකා චමරි අතපත්තු ලකුණු 21කට කඩුලු 03ක් බිඳ හෙලුවා. පිත්තෙන්ද සාර්ථක වූ ඇය වේගවත් ලකුණු 44ක් රැස් කලේ පන්දු 28කදීයි.
දෙපිල අතර එක්දින ක්රිකට් තරගාවලිය ලබන සෙනසුරාදා ආරම්භ වීමට නියමිතයි.