Sunday, November 24, 2024

General line - 0115112241

අපොස උසස් පෙළ විභාගයට සියල්ල සූදානම් - ආපදා තත්ත්වයන්ටත් විභාග දෙපාර්තමේන්තුව සූදානමින්

එන් ඒ ඩබ් නිරෝෂන්




හෙට පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

දෙසැම්බර් මස 20 වනදා දක්වා දින 22ක් පුරා විභාගය පැවැත්වීමට නියමිතයි. 

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ 

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කර ඇති මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ 33,185 වන බවයි. 

ඔවුන් සඳහා විභාග මධ්‍යස්ථාන 2,312 ක් ස්ථාපිත කර තිබෙනවා. 

මේ අතර හෙට දිනයේදී යම් ආපදා තත්ත්වයක් මතු වුවහොත් ඊට අදාළ සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

දිවයින පුරා ඇති විභාග මධ්‍යස්ථානවල රාජකාරි සඳහා නිලධාරින් 1,200 කට ආසන්න ප්‍රමාණයක් යොමුකර ඇති අතර විභාග ශාලාවේ ශාලාධිපතිවරයාට පමණක් විභාගය පැවැත්වෙන කාලය තුළදී ජංගම දුරකථනය භාවිත කිරීමට අවසර ලබාදී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් අතරින් මෙතෙක් ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයෙක් වේනම් සිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස එය ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

එලෙස ප්‍රවේශපත්‍ර නොලැබුණු පාසල් අයදුම්කරුවන් එම කාර්යය සිදුකර ගත යුත්තේ සිය පාසල මඟින් වන අතර පෞද්ගලික අයදුම්කරුවන්ට වෙබ් අඩවිය හරහා එය ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළා.