ඉතිහාසගත ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරග ගාස්තු ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වනවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉකුත් සමයේ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ දක්වන විශිෂ්ට දස්කම්වලට ඇගයීමක් ලෙස මෙම පියවර ගැනීමටයි තීරණය වී ඇත්තේ. ඒ අනුව ඔවුන්ගේ තරග ගාස්තු සැලකිය යුතු මුදලකින් ඉහළ නංවනු ඇති. ඒ අනුව බොහෝ විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරග ගාස්තුව හා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ තරග ගාස්තුවට ආසන්න වනු ඇති බවටයි පැවසෙන්නේ.
මේ අතර එංගලන්තයේදීම ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරඟාවලි ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට අමෙරිකානු ඩොලර් 25,000ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට තීරණය කර තිබෙනවා. ඒ, ඔවුන්ගේ දස්කම් ඇගයීමේ අරමුණින්. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල එංගලන්ත තරඟාවලිය නිම කර මෙරටට පැමිණීමෙන් පසු විශේෂ ඇගයීමේ උත්සවයක් පැවැත්වීමට ද කටයුතු සංවිධාන කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේ එංගලන්තයට එරෙහිව එංගලන්තයේදීම පන්දුවාර 20 තරඟාවලියක් ජය ගනිමින්. එය ඉතිහාස ගත වුණේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් එංගලන්තයට එරෙහිව ලැබූ පලමු ඔ 20 තරඟාවලි ජයග්‍රහණය ලෙසටයි.
එංගලන්තයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම තරඟ රටාවකදී ලැබූ පළමු හා එකම ජයග්‍රහණය ද මෙය වුණා. එමෙන්ම ආසියාවෙන් පිටතදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලැබූ පලමු තරඟාවලි ජයග්‍රහණය ද මෙයයි. එමෙන්ම එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 තරඟාවලියකදී ආසියානු කණ්ඩායමක් හමුවේ තරඟාවලියකින් පරාජය වූ පලමු අවස්ථාව ද මෙය වුණා. මීට අමතරව එංගලන්තය කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පන්දුවාර 20 තරඟාවලි පරාජයක් ලබන්නේ 2010 වසරෙන් පසු පලමු වරට වීමද විශේෂත්වයක්. දෙපිල අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන සෙනසුරාදා ආරම්භ වනවා.