Monday, May 6, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයා දුම්රියෙන් පුටින් හමුවීමට යයි




උතුරු කොරියානු නායක කිම් ජොං අන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් හමුවීමට සූදානම් වනවා. 

ඒ අනුව, උතුරු කොරියානු නායකයා සිය පෞද්ගලික දුම්රිය මඟින් රුසියාව වෙත ගමන් ආරම්භ කර ඇති බවයි දකුණු කොරියාව පැවසුවේ. 

ජාත්‍යන්තරයෙන් හුදෙකලාව කටයුතු කරන උතුරු කොරියානු නායකයා විදෙස් සංචාර සඳහා එක් වන්නේ ඉතාමත් කලතුරකින්.

ඒ අනුව, ඔහු මෙලෙස විදේශීය රටක සංචාරයක නිරත වන්නේ වසර 04කට පසුවයි. 

එවැනි සංචාරවලදී ගුවන් හෝ නාවික මාර්ග භාවිත නොකරන කිම් ජොං අන් ඔහුගේ අධි ආරක්ෂිත ආයුධ සන්නද්ධ , අධි සුඛෝපභෝගී දුම්රියෙන් ගමන් කරනවා. 

රුසියාව බලා පිටත්ව ඇති උතුරු කොරියානු නායකයාගේ දුම්රිය තුළ වෙඩි නොවදින මෝටර් රථ 20ක් පමණ ඇති බවයි වාර්තා වන්නේ. 

එබැවින් එය සාමාන්‍ය දුම්රිය වලට වඩා බරින් වැඩි අතර පැයට කිලෝමීටර් 59 ඉක්මවා වේගයෙන් යා නොහැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

උතුරු කොරියානු හා රුසියානු නායකයින් දෙපලගේ හමුව චීන හා උතුරු කොරියානු දේශ සීමාවට ආසන්න රුසියාවේ ලැඩිවොස්ටොක් නගරයේදී පැවැත්විමටයි නියමිතව ඇත්තේ. 

ඒ සඳහා උතුරු කොරියානු නායකයා කිලෝ මීටර් 1,180ක දුරක් දුම්රියෙන් ගමන් කරනු ඇති. 

අදාළ හමුව අද උදෑසන පැවැත්වෙනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ සම්බන්ධයෙන් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල දැඩි අවධානය යොමුව තිබෙනවා. 

ඔවුන් පවසන්නේ යුක්‍රේන යුද්ධයේදී භාවිත කිරීම සඳහා උතුරු කොරියාවෙන් රුසියාවට ආයුධ සැපයීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බවයි.