Saturday, July 27, 2024

General line - 0115112241

පකිස්ථානය පැරදූ ඉන්දියාවට ලකුණු 228ක විශිෂ්ඨ ජයක්




ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ඊයේ පැවති තරඟයෙන්  පාකිස්තාන  කණ්ඩායම  පැරදු වු ඉන්දියානු  කණ්ඩායම ලකුණු 228ක විශිෂ්ඨ ජයක් හිමි කර ගත්තා. 

ඉකුත් ඉරිදා ආරම්භ වුණු තරඟයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව, ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් ආරම්භක පිතිකරු යුගලය වන නායක රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 121ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගුවා.

එහිදි ශුබ්මන් ගිල් ලකුණු 58ක් සහ රෝහිත් ශර්මා ලකුණු 56ක් ලබාගත්තා. කෙසේවෙතත් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24යි එක් පන්දුවක් තුළ කඩුලු දෙකක් පමණක් බිඳවැටී ලකුණු 147ක් ලබා සිටියදි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. 

ඒ අනුව, අතිරේක දිනය වූ ඊයේ දිනයේදී තරඟය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පස්වරු 3ටයි. 

එහෙත් ඊයේ දහවල් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට වර්ෂාව පැවතීම හේතුවෙන් තරගය ආරම්භ කෙරුණේ පස්වරු 4යි 40ට පමණයි. 
 

කෙසේ වෙතත් එහිදී තරගයේ පන්දුවාර අඩුකිරීමක් සිදුවූයේ නැහැ.

 තරගය ආරම්භ කරමින් ඊයේ දිනයේ පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 356ක් රැස්කරගැනීමට සමත් වුණා. 
 

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිකරණයක නියැලුණු විරාත්  කෝලි සහ කේ එල් රාහුල් ශතක වාර්තා කිරීමට සමත් වීමද කැපී පෙනුණා. 

අගනා ඉනිමක් ක්‍රීඩා කළ කෝලි ඊයේ එක්දින පිටියේ ලකුණු 13,000 සීමාව පසුකර යාමද විශේෂත්වයක්. 

විරාත් කෝලි හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමග පන්දු 94කදී නොදැවී ලකුණු 122ක් රැස් කලා. 

හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සමගින්  කේ එල් රාහුල් පන්දු 106කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 111ක්. 
 

ලකුණු 357 ජයග්‍රාහීි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි  පාකිස්තාන කණ්ඩායමට  පන්දුවාර 32 අවසානයේදී සියලු දෙනා දැවී රැස් කර ගත  හැකිවූයේ ලකුණු 128ක් පමණයි. 

ආබාධයට ලක්වීම හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමේ  අවසන් පිතිකරුවන් දෙදෙනා වූ නසීම් ෂා සහ හාරිස් රවුෆ් පන්දුවට පහර දීමට පිටියට පැමිණියේ නැහැ. 
 

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ෆකාර් සමාන් පන්දු  50 කදි හතරේ පහරවල් 2ක් සමගින් ලකුණු  27ක් රැස් කලා. 

ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදව් පන්දු වාර අටක් යොමුකරමින් ලකුණු 25කට පාකිස්තාන කණ්ඩායමේ කඩුලු 5ක් බිද හෙලුවා.
 

ඉන්දියානු කණ්ඩායමේ මෙම  දැවැන්ත ජයග්‍රහණයත් සමග  එදා මෙදා තුර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දිය කණ්ඩායමක් පාකිස්තානයට එරෙහිව ලැබූ විශාලතම ජයග්‍රහණය ලෙස මෙය වාර්තා අතරට එක් වෙනවා.