Monday, November 25, 2024

General line - 0115112241

ප්‍රේක්ෂක හදවත් මොහොතකට නතර කරමින් ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට.




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙතෙක් පැවති අතිශය තියුණුම තරඟය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඒ, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරයි. තරඟාවලියේ අවසන් මහා තරඟයට පිවිසීම පිළිබඳ තීරණය කළ මෙම තරඟය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරඟය පන්දුවාර 42 කට සීමා කෙරුණා. 

ඒ අනුව කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. පන්දුවාර 42 ක අවසානයේ පාකිස්තානය කඬුලු 7 කට ලකුණු 252 ක් රැස්කිරීමට සමත් වුණා.

පාකිස්තාන ඉනිමේ කඬුලු 05 ක් ලකුණු 130 කට බිඳ වැටී තිබූ අවස්ථාවේ පිටියේ එක්වූ මොහොමඩ් රිස්වාන් සහ ඉෆ්තිකාර් අහමඩ් පාකිස්තාන ලකුණු පුවරුව ගෞරවාන්විත තැනකට ඔසවා තැබුවා. ඉෆ්තිකාර් පන්දු 40 කදී ලකුණු 47 යි. රිස්වාන් පන්දු 73 කදී වේගවත් ලකුණු 86 ක් රැස් කළා. පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 65 කට කඬුලු 3 ක් බිද හෙලූ අතර ප්‍රමෝද් මධුෂාන් ලකුණු 58 කට කඩුලු 2 ක් බිද හෙලුවා.


ඩක්වත් - ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට තරඟය ජය ගැනීම සඳහා පන්දුවාර 42 ක් තුළ රැස්කරගත යුතුව තිබූ ඉලක්කය ලකුණු 252 ක්. ශ්‍රී ලංකා මුල් කඩුලු දෙක ලකුණු 77 ක් තුළ බිදවැටුණු අතර කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම තුන්වන කඩුලුල වෙනුවෙන් ලකුණු සියයක සබඳතාවක් ගොඩනැගුවා. සධීර ලකුණු 48 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 91 කට දැවී ගියා.
කුසල් සහ චරිත් අසලංක හතරවන කඬුල්ල සඳහා ලකුණු 33 ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ආවා. එහෙත් කුසල්ගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා මැදපෙළ කඬුලු 05 ක් ලකුණු 36 ක් තුළ බිද වැටීමත් සමඟ තරඟය දෙපිළටම දෝලනය වීමට පටන් ගත්තා.

 ශ්‍රී ලංකා ජයග්‍රහණයට අවසන් පන්දුවාරයේදී ලකුණු 8 ක් රැස්කරගත යුතුව තිබූ අතර අවසන් පන්දු දෙකට ලකුණු 6 ක් රැස්කරගත යුතු වුණා. පන්දුවාරයේ පස්වන පන්දුවට හතරේ පහරක්ද, අවසන් පන්දුවට ලකුණු 2 ක් ද රැස්කරමින් චරිත් අසලංක ශ්‍රී ලංකාව ජයග්‍රහණයට රැගෙන ගියා. එක් අන්තයක් රැකගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයට රැගෙන ගිය චරිත් අසලංක නොදැවී ලකුණු 49 ක් රැස්කිරීමට සමත් වුණා. ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරඟයක් අවසන් පන්දුවේදී ජයගත් දෙවන අවස්ථාව මෙයයි. තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කළා. ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය සියැසින් දැක ගැනීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණ සිටියා.
ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබූ 12 වන අවස්ථාව මෙය වන අතර පන්දුවාර 50 එක්දින තරඟ රටාව යටතේ පැවති තරඟාවලියක අවසන් මහා තරඟයට පිවිසි 11 වන අවස්ථාව මෙයයි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සහභාගි වන ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.