Sunday, May 5, 2024

General line - 0115112241

ලිබියානු ගංවතුරේ විනාශය ගැන අලුත්ම වාර්තාවක්




ගංවතුරෙන් විපතට පත්වූවන් සමූහ මිනී වලවල් වල තැන්පත් කිරීම නවත්වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ලිබියානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව මේ වන විට පුද්ගලයන් 1,000කට අධික පිරිසක් සමූහ මිනීවලවල්වල මිහිදන් කර තිබෙනවා. 

මෙලෙස හදිසියේ මළ සිරුරු මිහිදන් කිරීම ශෝකයට පත් පවුලේ සාමාජිකයින්ට දිගුකාලීන මානසික පීඩාවක් ඇති කළ හැකි බැවින්, ඔවුන් සොහොන් වල මිහිදන් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ මුහුදට ගසාගෙන ගිය ඩර්නා ගංවතුරෙන් මියගිය පුද්ගලයින්ගේ මල සිරුරු කිලෝමීටර් 100 කට වඩා ඈත වෙරළ තීරයට ගසාගෙන ගොස් ඇති බවයි. ගංවතුරෙන් දහස් ගණනක් මිය ගොස් ඇති අතර තවත් දහස් ගණනක් තවමත් අතුරුදහන් ව සිටිනවා. නිවාස අහිමි වී ඇති සංඛ්‍යාව 30,000 ක්. 

සැප්තැම්බර් 10 වන ඉරිදා ඩැනියෙල් ප්‍රබල කුණාටුවෙන් පසු ඇති වූ වර්ෂාවෙන් ඩර්නා නගරයට ඉහළින් පිහිටි වේලි දෙකක් පුපුරා ගොස් මෙම ගංවතුර ඇති වුණා. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කලේ, ලිබියාවේ ආපදා කළමනාකරණය ඉතා මන්දගාමී බව විවේචන එල්ල වන බවයි. 


මේ අතර, අපවිත්‍ර ජලයෙන් ඇතිවන රෝග ව්‍යාප්තිය විපතට පත් ජනතාවට ඇති මීළඟ තර්ජනය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.