Sunday, September 8, 2024

General line - 0115112241

රට තාක්‍ෂණික විප්ලවයකට සැරසෙන හැටි ජනපති ලෝකයට කියයි




ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණදීමේදී විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන අංශයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, කියුබාවේ හවානා නුවරදී ඊයේ ආරම්භ වූ “G 77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමින්. ජනාධිපතිවරයා පැවසුවේ ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බවයි.

වසංගත, දේශගුණික විපර්යාස, ආහාර, පොහොර සහ බලශක්ති අර්බුදය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට බාධා එල්ල කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා. එම තත්ත්වය ගෝලීය ණය අර්බුදය උග්‍ර කරන අතර ඒ හේතුවෙන් පෙර නොවූ විරූ අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය දකුණේ රටවලට සිදුව ඇති බවත් පැවසුවා.

 අධික පිරිවැය හේතුවෙන් ඇතැම් තාක්‍ෂණික ක්‍රමවේදයන්ට ප්‍රවේශවීම සඳහා ඇති සීමාව, ප්‍රමාණවත් ඩිජිටල් කුසලතා සහ යටිතල පහසුකම් නොමැතිවීම, සංස්කෘතිකමය හා ආයතනිකමය වශයෙන් පවතින බාධා සහ මූල්‍යමය බාධා වැනි අභියෝගකාරී තත්ත්වයන් එවැනි අසමතුලිතතා ඇතිකිරීමට හේතුවයි.

 එම පරතරය පියවා ගැනීම සඳහා ඩිජිටල්කරණය, කෘත්‍රිම බුද්ධිය, ජෛව තාක්ෂණවේදය සහ ජාන අනුක්‍රමණය වැනි නව තාක්‍ෂණ ක්‍රමවේද වෙත කඩිනමින් යොමු විය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී පැවසුවේ.

දැනට දුර්වල ක්‍රියාකාරීත්වයකින් යුත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ආයතන පිළිබඳ ඇගයීමට ලක්කිරීමට සහ තාක්ෂණ හා නවෝත්පාදන කවුන්සිලයක් මෙන්ම ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් පිහිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පියවර ගෙන තිබෙනවා.

 මීට අමතරව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් තාක්ෂණික සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස නව තාක්‍ෂණවේදයන් සඳහාම විශේෂිත වූ නව විශ්ව විද්‍යාල හතරක් ඇතිකිරීමට ද ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ. එසේම, යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය එහි පස්වැන්න ලෙස ස්ථාපනය කිරීමට ද අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියා.