Monday, November 25, 2024

General line - 0115112241

ප්‍රේක්ෂකයින්ට ප්‍රේමදාස පිටියේ දොරටු විවෘත වෙයි - සියලු ටිකට්පත් විකිණී අවසන්




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි අවසන් මහා තරඟයට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී තරගය නිල වශයෙන් ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 03 ටයි.

කෙසේවෙතත් ප්‍රේක්ෂකයන්ගේ පහසුව වෙනුවෙන් ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටු අද දහවල් 12 සිට විවෘතව තැබීමටයි තීරණය කර ඇත්තේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පෙරවරු 11 යි 30 ට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර මේවනවිටත් අලෙවි වී අවසන් බවයි.

තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගණය තුල ද ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව නෙත් ස්පෝට්ස්මන් අපට දැකගත හැකි වුණා.

අද තරඟය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක්ද ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩාංගණයට ඇතුළු වන සියලුම ප්‍රේක්ෂකයින් පරීක්ෂාවට ලක්කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.

එමෙන්ම අවසන් මහා තරඟය වෙනුවෙන් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාවට නංවා තිබෙනවා.

 

අද දහවල් 12 සිට ක්‍රීඩාංගණය අවට මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කර ඇති බවයි පොලීසිය සදහන් කළේ. 

ඒ අනුව ඛෙත්තාරාම හන්දිය දෙසින්, වින්ස්ටන් පෙරේරා මාවතින් සහ බෝධිරාජ මාවත හන්දියෙන් ක්‍රීඩාංගණයට රථ වාහන ඇතුළුවීම සීමා කර තිබෙනවා.

එමෙන්ම කොස්ගස් හන්දියෙන් ආමර්වීදිය දෙසට මෙන්ම අඩි සියය පාර හන්දියෙන් ද රථ වාහන ඇතුළුවීම සීමා කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ ඒ පිළිබඳ පැහැදිළි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව.

අවසන් තරඟයේ ප්‍රවේශ පත්‍ර ලබා ගත් ප්‍රේක්ෂකයින් පමණක් ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස පොලීසිය මෙහිදී ඉල්ලීමක් ද කලා.

 

ප්‍රවේශ පත්‍ර ලබා නොගත් ප්‍රේක්ෂකයින් සඳහා ගාලු මුවදොර පිටියේ සවිකර ඇති පුලුල් තිර හරහා අවසන් තරඟය නැරඹීම සඳහා අවස්ථාව සලසා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දූව පැවසුවේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ඉහල උනන්දුවකින් පසුවනවා.

ඒ, එළඹෙන ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් ප්‍රධාන තරඟාවලිය මෙය වීම හේතුවෙන්. අද තරඟයට එක්වන ශ්‍රී ලංකා පිලට හදවතින්ම සුබ පැතීමටද ජනතාව එක්රොක් වී සිටිනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව පිවිසි 12වන අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාව අද තරඟයට පිවිසෙන්නේ වත්මන් ආසියානු ශුරයින් ලෙසයි. ඉන්දියාව ද අවස්ථා 10කදී ආසියානු කුසලානයේ අවසන් තරඟයට පිවිස තිබෙනවා. 

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දෙපිල අතර තරඟ 37 ක් පවත්වා ඇති අතර එහිදී ශ්‍රී ලංකාව තරඟ 16ක්ද ඉන්දියාව තරඟ 18ක්ද ජය ගෙන තිබෙනවා.

මේ අතර අද තරඟයට එක්වන කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව ආබාධයකට ලක්වූ මහේෂ් තීක්ෂණ වෙනුවට බොහෝදුරට දුෂාන් හේමන්ත කණ්ඩායමට කැඳවීමට නියමිතයි.

ඉන්දිය කණ්ඩායමේද ආබාධයකට ලක්වූ අක්සාර් පටෙල් වෙනුවට වොෂින්ටන් සුන්දර් හෝ ෂර්දූර් තාකූර් කැඳවනු ඇතැයි සඳහන්.

එමෙන්ම ඉෂාන් කිෂාන් වෙනුවට තිලක් වර්මා ඉන්දීය කණ්ඩායමට කැඳවනු ඇති බවටද වාර්තා පල වනවා.

දෙපිලේම අවසන් කණ්ඩායම තීරණය කිරීම තණතිරුව පරීක්ෂා කිරීමෙන් පසු සිදුවනු ඇති.

පිට පිට දෙවන වරටත් ආසියාවේ ශූරයින් වීමට අද පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට නෙත් නිවුස් උණුසුම් සුබ පැතුම්.