Saturday, July 27, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකික පැතුම් බොඳ කරමින් පන්දු 37කින් ඉන්දියාව ආසියානු ශූරයින් වෙයි




මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුන්කරමින් ඉන්දියාව ආසියානු ක්‍රිකට් ශූරතාව අද දිනා ගත්තා.

ඒ, වාර්තා ගත ජයග්‍රහණයක්ද සමඟින්. ඉන්දියාව මෙලෙස ශූරතාව දිනා ගත්තේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියට රැස් වූ 35,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් මධ්‍යයේයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.

ආබාධයකට ලක්වූ මහීෂ් තීක්ෂණ වෙනුවට ශ්‍රී ලංකා පිලට අද දුෂාන් හේමන්ත කැඳවා තිබුණා.

ඉන්දියාව ද අද තරඟ බිමට පිවිසියේ ආබාධයකට ලක්වූ අක්සාර් පටෙල් වෙනුවට වොෂින්ටන් සුන්දර් කණ්ඩායමට කැඳවමින්.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක හදවත්වල බලාපොරොත්තු බිඳ දමමින් ශ්‍රී ලංකා සියලු කඩුලු ලකුණු 50කට බිඳ වැටුණා.

එය වාර්තා පොත් අතරට එක්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින පිටියේ දැවීගිය දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එමෙන්ම ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙයයි.

එමෙන්ම ආසියානු කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය හා ඉන්දිය කණ්ඩායම හමුවේ කිසියම් කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා.

පන්දු 300ක් තිබූ තරඟයේ ශ්‍රී ලංකා පිතිකරුවන් මුහුණ දුන්නේ පන්දු 92 කට පමණයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 17ක් රැස් කල අතර දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 13යි. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 8 සීමාව පවා පසුකර යාමට හැකිවුණේ නෑ.

ශ්‍රී ලංකා පිතිකරුවන් 05 දෙනෙකු ලකුණු බිංදුවට දැවී ගියා. 

එලෙස දැවී ගියේ කුසල් ජනිත් පෙරේරා, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, දසුන් ශානක හා මතීෂ පතිරණයි. ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් තිදෙනෙකු හැර වෙනත් කිසිදු පිතිකරුවෙකු පන්දු 06කට මුහුණ දීමට හෝ පිටියේ රැඳී සිටියේ නැහැ. 

පළමු පන්දුවාරයේ සිටම ශ්‍රී ලංකා ඉනිම අඩපණ කල මොහොමඩ් ශිරාජ් පන්දුවාර 07කදී ලකුණු 21කට කඩුලු 6ක් බිඳ හෙලුවා.

එය ආසියානු කුසලාන ඉතිහාසයේ දෙවන හොඳම පන්දු යැවීමයි. එමෙන්ම ආසියානු කුසලානයේ වේග පන්දු යවන්නෙකු වාර්තා කල හොඳම පන්දු යැවීම මෙය වන අතර ඔහු බිඳ හෙලුවේ වසර 28ක් පැරණි වාර්තාවක් වීම විශේෂත්වයක්.

එමෙන්ම එක්දින තරඟ ඉතිහාසයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් කඩුලු 05ක් දවා ගෙන චමින්ද වාස් බිහිකර තිබූ ලෝක වාර්තාව අද සිරාජ් විසින් සම කරනු ලැබීමද කැපී පෙනුනා.

සිරාජ් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 05ක් බිඳ හෙලුවේ පන්දු 16ක් තුලයි. 

ඔහුට අනගි සහයක් ලබා දුන් හර්දික් පාණ්ඩ්‍ය ලකුණු 03කට කඩුලු 03ක් බිඳ හෙලුවා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දියාව පන්දුවාර හයයි එක් පන්දුවක් තුල කිසිවෙකු නොදැවී ලකුණු 51ක් රැස් කරමින් ආසියානු ශූරතාව දිනා ගත්තා.

ඉන්දියාව ඒ සඳහා වැය කලේ පන්දු 37ක් පමණයි.

ඉන්දියාව මෙලෙස ආසියානු ශුරයින් බවට පත්වූයේ ඉතිහාසයේ 08 වන වරටයි.

ඉන්දියාව මෙලෙස තරඟාවලි ශූරතාවක් දිනා ගත්තේ 2018 වසරෙන් පසු පලමු වරටයි.