Saturday, July 27, 2024

General line - 0115112241

ආසියානු කුසලානය ජයගත් ඉන්දියානුවන්ගෙන් ක්‍රීඩාපිටියේ  සේවකයන්ටත් තෑග්ගක්




ක්‍රිකට් යනු ජය පරාජය නිරන්තරයෙන්ම හුවමාරු වන ක්‍රීඩාවක්.

එහෙත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අදින් ආරම්භ වන සතිය ප්‍රීතියකින් ගෙන නොදෙන බව නම් නොරහසක්. පරාජය ක්‍රීඩාවට පොදු වුවත් මෙලෙස පරාජය වීම ගැන බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පල කරන්නේ විවේචනාත්මක අදහස්.

සැබැවින්ම එක්දින පිටියේ මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් ඇත්තේ ශ්‍රී ලංකාව පමණද? නෙත් ස්පෝට්ස්මන් ඒ පිලිබද සොයා බැලීමක් කලා.


ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාව බව ඔබ දැන සිටියාද? ඒ, 2004 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම ඔවුන්ගේ රටේදීම ලකුණු 35කට දවා ගනිමින්. එක්දින පිටියේ කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවාගත් අවස්ථා 4න් අවස්ථා 03කදීම ප්‍රතිවාදී පිල අඩුම ලකුණු සංඛ්‍යාවකට දවාගෙන ඇත්තේ 
ශ්‍රී ලංකාවයි. ඒ, 2003 දී කැනඩාව ලකුණු 36කට සහ 2001දී සිම්බාබ්වේ පිල ලකුණු 38කට දවා ගනිමින්. 


ශ්‍රී ලංකා ක්‍රිකට් පිල 2001දී ද දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 43කට දැවී ගොස් තිබුණා. එය එවක කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද වුණා. එහෙත් ඉන්පසු වසර තුනක් තුල අවස්ථා 03කදී ප්‍රතිවාදී කණ්ඩායම් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණා. 


කෙසේ වෙතත් ආසියානු කුසලානයේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව දැවී ගිය ලකුණු 50 සැලකුණේ එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් දැවී ගිය 10වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි. එහි 11වන තැන සිටින්නේ ඉන්දියාවයි. ඒ, 2000 වසරේදී ශ්‍රී ලංකා පිල හමුවේ ලකුණු 54කට දැවී යමින්.


මේ අතර ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සැලකුණේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් අවසන් වූ 03වන තරඟය ලෙසයි. මීට පෙර නේපාල - අමෙරිකා තරගය පන්දු 104 කදී ද ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගය පන්දු 120දී ද අවසන් වී තිබුණා. කෙසේ වෙතත් ආසියානු කුසලානය අවසන් වුණේ ශ්‍රී ලංකා ලෝක කුසලාන ගමන පිලිබද සුබ නිමිති කිහිපයක්ම පෙන්වමින්. 


ඒ අතරින් මතීෂ පතිරණ තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමත් එහි තුන්වන ස්ථානය දුනිත් වෙල්ලාලගේට හිමව තිබීමත් කැපී පෙනෙනවා. වැඩිම ලකුණු ලාභීන් අතර කුසල් මෙන්ඩිස් දෙවන ස්ථානයේ ද සධීර සමරවික්‍රම තුන්වන ස්ථානයට ද පත්වුණා. 


මේ අතර මොහොමඩ් සිරාජ් මෙහිදී එක් පන්දු වාරයක් තුල කඩුලු 04ක් බිඳ හෙලුවා. එය සැලකුණේ එක්දින ක්‍රිකට් පිටියේ එක් පන්දුවාරයක් තුල පන්දු යවන්නෙකු කඩුලු 04ක් බිඳ හෙලූ 04 වන අවස්ථාව ලෙසයි. ඉතිහාසයේ පලමු වරට එක්දින පිටියේ එවන් දස්කමක් දැක්වූයේ ශ්‍රී ලාංකික පන්දු යවන්නෙක්. ඔහු චමින්ද වාස්. 2003දී ඔහු බංග්ලාදේශයට එරෙහිව එක් පන්දු වාරයක් තුල කඩුලු 04ක් බිඳ හෙලුවා. ආසියානු කුසලානයේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුනු කල මොහොමඩ් සිරාජ් ශ්‍රී ලංකාවට තෑග්ගක් ලබා දුන් බව ඇතැම් විට ඔබ නොදන්නවා ඇති.

 
තරඟාවලියේ වීරයා සම්මානය සමග සිරාජ්ට හිමිවූ සම්පූර්ණ මුදල ඔහු ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ සේවකයින් වෙත පිරිනැමීමද විශේෂත්වයක්. එය ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 16කට ආසන්න බවටයි වාර්තා වන්නේ. එමෙන්ම ප්‍රේමදාස පිටියේ හා පල්ලෙකැලේ පිටියේ සේවකයින් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 50,000ක මුදල් ත්‍යාගයක් ද පිරිනමා තිබෙනවා.

ඒ, තරඟාවලිය පුරා ඇද හැලුණු අධික වර්ෂාව මධ්‍යයේ ක්‍රීඩාංගණ ආවරණය කරමින් තරඟ සාර්ථකව පැවැත්වීමට ඔවුන් දැක්වූ විශිෂ්ට සේවය අගය කරමින්.