Saturday, May 4, 2024

General line - 0115112241

ඉතිහාසගත තීන්දුවකින් අමෙරිකානු කතානායක ධූරයෙන් නෙරපයි




ඉතිහාසගත තීන්දුවකින් පසු අමෙරිකානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාති එම ධූරයෙන් නෙරපා හැර තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් ඔහු පරාජය වීම හේතුවෙන්. ඡන්ද විමසීමේදී ඔහුට විරුද්ධව ඡන්ද 216 ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ ඡන්ද 210 ක් පමණයි.

ඔහු නියෝජනය කරන රිපබ්ලිකන් පාක්ෂිකයින් 8 දෙනෙකුද ඔහුට විරුද්ධව ඡන්දය දීම විශේෂත්වයක්.

මැකාති, කතානායක ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ රිපබ්ලිකන් පාක්ෂිකයින් විසින්. නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ප්‍රතිවාදී රිපබ්ලිකන් පාක්ෂිකයින් සතු වුවද රිපබ්ලිකන් පාක්ෂිකයෙකු වූ කෙවින් මැකාතිට එම ධූරය අහිමිවීම කැපී පෙනෙන සිද්ධියක්.

කතානායක ලෙස ඔහු ගත් ඇතැම් තීන්දු තීරණ, ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ පමණක් නොව, රිපබ්ලිකන් පාක්ෂිකයින් බොහෝ දෙනකුගේ ද අප්‍රසාදයට හේතු වීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුවයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකු විසින් කතානායකට එරෙහි යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ.

අමෙරිකානු කතානායකවරයකු මෙලෙස ධුරයෙන් ඉවත් කිරීම සිදුවූයේ ඉතිහාසයේ පළමු වරට බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.