Monday, November 25, 2024

General line - 0115112241

 එක්දින ක්‍රිකට් පිටියේ මංගල්‍යය - ලෝක කුසලානය අද සිට




එක්දින ක්‍රිකට් ලෝකයේ මහා මංගල්‍යය වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය අද සිට ආරම්භ වනවා. එය නොවැම්බර් 19 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර තරඟාවලියේ සත්කාරකත්වය දරන්නේ ඉන්දියාවයි.

ඉන්දියාව එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක සම්පූර්ණ සත්කාරකත්වය දරන පළමු අවස්ථාව මෙය වනවා. 
මෙවර පැවැත්වෙන්නේ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ 13 වන තරඟාවලියයි. මෙවර තරඟාවලියට කණ්ඩායම් 10 ක් එක්වනවා.

මෙවර විශේෂත්වයක් වන්නේ ඉතිහාසයේ පළමු වරට ලෝක ශූරතා දෙකක් දිනූ බටහිර ඉන්දිය කොදෙව්වන්ට තරඟාවලියට එක්වීමට නොහැකි වීමයි. ඒ, සුදුසුකම් ලැබීමේ වටයේදී ඔවුන් පරාජය වීම හේතුවෙන්.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය තරඟාවලියට සුදුසුකම් ලැබුවේ, සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ අවසන් තරඟයට පිවිසීමත් සමඟයි


ඛාණ්ඩ වෙන් කිරීමකින් තොරව තරඟාවලියට එක්වන සෑම කණ්ඩායමක්ම සිය ප්‍රතිවාදී කණ්ඩායම් සමඟ තරඟවැදීමට සිදුවීම මෙවර තවත් විශේෂත්වයක්.

ඒ අනුව සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී තරඟ 9 කට ක්‍රීඩා කළ යුතුයි. එහිදී වැඩිම ප්‍රසාද ලකුණු සඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයේදී තරඟවදිනු ඇති.

\මෙවර තරඟාවලිය ආරම්භ කරමින් අද තරඟ බිමට පිවිසෙන්නේ වත්මන් එක්දින ලෝක ශූර එංගලන්තය හා වත්මන් ලෝක අනුශූර නවසීලන්තයයි. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2 ට ආරම්භ වනවා.


මෙවර තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට වැඩි ඉඩක් ඇත්තේ කාටද ? මේ, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මාවන් අතපත්තු නෙත් ක්වික් දැට් වැඩසටහනට එක්ව දැක්වූ අදහසයි.


ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟ ලබන සෙනසුරාදා සිට ආරම්භ වනවා. ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිවාදියා වන්නේ දකුණු අප්‍රිකාවයි.

ක්‍රිකට් ලෝකයම උණුසුම් කරන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ උණුසුම් තොරතුරු, තරඟ විශ්ලේෂණ සහ විශේෂ වාර්තා ඔබ වෙත ගෙන ඒමට නෙත් එෆ් එම්, නෙත් නිවුස් සහ නෙත් ස්පෝර්ට්ස්මන් සූදානම්.