Sunday, May 5, 2024

General line - 0115112241

වහාම ඉවත් වන්නැයි ගාසා වැසියන්ට ඊශ්‍රායලයෙන් අනතුරු ඇගවීම්




ගාසා තීරයේ වෙසෙන සාමාන්‍ය වැසියන් වහාම සිය වාසස්ථාන වලින් ඉවත් කරන්නැයි ඊශ්‍රායලය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

හමාස් සටන්කාමීන් ඉලක්ක කර දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම්වන බැවින් ඊට පෙර ආරක්ෂිත ස්ථාන කර යොමුවන ලෙසයි ඊශ්‍රෘයලය ගාසා වැසියන්ට දැනුම් දී ඇත්තේ.

ඊයේ දිනයේදීද ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර ඉන් ගාසා වැසියන් 230කට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා.

තවත් 2,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මේ අතර, ඊශ්‍රායලය ඉලක්ක කර හමාස් සටන් කාමීන් අනපේක්ෂිත ලෙස එල්ල කළ ප්‍රහාර හමුවේ මිය ගිය ඊශ්‍රායල වැසියන්  සංඛ්‍යාව 250 ඉක්මවා තිබෙනවා.

තවත් දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වන්නේ. දේශ සීමාව හරහා සිය රටට කඩා වැදුණු ත්‍රස්තවාදීන් සිවිල් වැසියන් සමූල ඝාතනය කර ඇතැයි ඊශ්‍රායල හමුදාව පැවසුවා.

මේ අතර, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අව්යු නුවරට රොකට් ප්‍රහාර 150ක් පමණ එල්ල කර ඇතැයි විදෙස් මාද්‍ය පවසනවා.

දේශසීමා හරහා ඇතුලු වුණු හමාස් සටන් කාමීන් සිය ගණනක් ඊශ්‍රායලයේ ස්ථාන 22ක පමණ තවදුරටත් රැඳී සිටින බවත් ඔවුන් සොයා ඊශ්‍රායල හමුදාව ප්‍රභල මෙහෙයුමක් දියත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය පැවසුවා. 

මේ අතර, සිය රට ඉලක්ක කර එල්ල කළ ම්ලේච්ච ප්‍රහාරයේ වගකීම හමාස් සටන්කාමීන් විසින් භාර ගත යුතු බවත් ඔවුන්ට එහි ප්‍රතිඵල භුක්ති විදීමට සිදුවනු ඇති බවත් ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයටද දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

මේ අතර හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරය දැඩිව හෙළා දකිමින් අමෙරිකාව පවසන්නේ ඊශ්‍රායලයට මෙව් මොහොතේ සහය පළ කරන බවයි. එවන් පසුබිමක් තුළ ගාසාහි හමාස් සටන් කාමීන්ට සහය දක්වන බව ඉරානය අවධාරණය කර තිබෙනවා.

මේ අතර, ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සේවා කිහිපයක්ම ඊශ්‍රායලය වෙත සිදු කරන සහ ඊශ්‍රායලයෙන් පිටතට සිදු කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළා.