Monday, November 25, 2024

General line - 0115112241

ඉන්දියාව ලෝක කුසලාන ගමන ජයග්‍රාහීව අරඹයි




මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සිය පලමු ජය වාර්තා කිරීමට සත්කාරක ඉන්දියාව සමත්වුණා.

ඒ, ඕස්ට්‍රේලියාව පරාජය කරමින්.

කෙසේවෙතත් මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට වැඩි ඉඩක් ඇතැයි අනුමාන කෙරෙන කණ්ඩායමක් ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාව මෙම තරගයේදී ඉන්දීය පන්දු යවන්නන් හමුවේ දැඩි දෙස අසරණ වුණේ සියලු දෙනා ලකුණු 199කට දැවී යමින්.

ස්ටීව් ස්මිත් ලකුණු 46ක් සහ ඩේවිඩ් වෝනර් ලකුණු 41ක් රැස් කලද සෙසු පිතිකරුවන් අසාර්ථක වුණා.

පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 28කට කඩුලු 03ක් බිද හෙලු අතර ජස්ප්‍රිට් බුම්රා සහ කුල්දීප් යාදෙව් අතරේ කඩුළු දෙක බැගින් බෙදී ගියා. 

මෙම තරගය පිලිබද බොහෝ දෙනා විවේචනාත්මක අදහස් පල කලේ දග පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් නිර්මාණය කිරීම සම්බන්ධවයි.

ඕස්ට්‍රේලියාව වැනි ලොව නම් දැරූ ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේ දඟ පන්දු යවන්නන්ගේ දැඩි පීඩනයට ලක් වෙමින්.

මීට පෙර පැවති තරගවල පිතිකරුවන්ට ඉහල දක්ෂතා දැක්වීමට හැකි තනතීරු නිර්මාණය කර තිබියදී මෙම තණතීරුව ඉන්දීයාවට වාසි සහගත වන ලෙස දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය වන පරිදි සකස් කර ඇති බවටයි බොහෝ පිරිස් අදහස් දක්වා තිබුනේ.

ඕස්ට්‍රේලියාව ඉනිමේ බිද වැටුණු කඩුලු 10න් 6ක්ම දවා ගත්තේ ද ඉන්දීය දග පන්දු යවන්නන් විසින්.

එමෙන්ම මෙම තරගයේ පන්දු 300න් පන්දු 173කට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට හැකිවුණේ නැහැ.

එය ගතවූ වසර 05 තුල ඕස්ට්‍රේලියාව තරගයකදී වැඩිම පන්දු සංඛ්‍යාවකට ලකුණු ලබා නොගත් තුන්වන අවස්ථාවයි. 

කෙසේවෙතත් ලකුණු 200ක ඉලක්කය පහසු ලෙස පෙනුනද ඉන්දිය පිතිකරුවන්ට එය දැඩි අභියෝගයක් කිරීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් කටයුතු කලා.

ඒ, ඉන්දීය ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 02 ක් තුල දැවී යාමත් සමගයි.

එය වාර්තා අතරට එක් වුණේ එක්දින තරගයක ඉන්දීය මුල් පෙල පිතිකරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකු ලකුණු බිංදුවකට දැවී ගිය පලමු අවස්ථාව ලෙසයි.

මෙහිදී ඉන්දීය ඉනිමේ පලමු කඩුල්ල දවා ගැනීමත් සමග ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටක් ලෝක කුසලාන තරග ඉතිහාසයේ අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 50හේ කඩයිම පසුකර ගිය පලමු පන්දු යවන්නා බවට පත් වුණා.

තරගයේදී ඉන්දීය පිතිකරුවන්ට පලමු පන්දු වාර 10 දී රැස් කර ගත හැකිවූයේ ලකුණු 27ක් පමණයි.

එය 2023 වසරේ ඉන්දීය කණ්ඩායමේ දුර්වලම ආරම්භය වන අතර එවැන්නක් වාර්තා වුණේ තරග 22කින් පසු පලමු වරටයි. පසුව විරාත් කෝලි ලබා දුන් පහසු උඩ පන්දුවක් මිචෙල් මාෂ් විසින් අතහැරීම, ඕස්ට්‍රේලියානු පරාජයේ ප්‍රධාන සාධකයක් වුණා. 

ඒ, වන විට ඉන්දියාව රැස් කර සිටියේ ලකුණු 20ක් පමණයි.

පසුව කේ එල් රාහුල් සමග පිටියේ එක්වූ විරාත් කෝලි ඉන්දියාවට ජය මාවත විවර කලා.

විරාත් කෝලි ලකුණු 85ක් හා කේ එල් රාහුල් නොදැවී ලකුණු 97ක් රැස් කලා.

ඉන්දියාව තරඟය ජය ගත්තේ කඩුලු 04ක් පමණක් දැවී 42වන පන්දු වාරයේදීයී.